අක්කා සහ කඳුළු තේ...

අක්කා විවාහ වී අයියාගේ නිවසේ පදිංචියට ගියත් මට හැම විටම දැනෙන්නේ ඇය ඉන්නවා කියලමයි.ඇගේ ආදරය එතරම් ඝණකමට ගෙදර හැම අහුමුල්ලකටම රිංගලා..පැතිරිලා..අම්මානම් තවම වැඩි කථාබහක් නැහැ.ඇගේ දෑස් දීප්තිමත් වෙන්නේ දුරකථනය නාදවෙනකොට තමා..

මංගල්‍යයදා සියලු නෑදෑ හිතමිතුරන්ගෙන් සමුගන්න වෙලේ එකදු කඳුලක් නොහෙලූ අක්කා අම්මාව බදාගෙන නොසෙල්වී සිටි මොහොතේ, අක්කාගේ හැර පැමිණ උන් සියල්ලන්ගේම දෑස් තෙත් වෙන්න ඇති.නමුත් ඇගේ කඳුළු දැක්කේ මම විතරයි..ඒ මගුල් දාට කලින් දිනයේ නොසිතූ වෙලාවකයි.අක්කා සිහිවන හැම වෙලාවකදීම එදා ඇගේ මුහුනේ තිබූ හැඟීම් රේඛා සියල්ල සමග ඇගේ රුව මැවෙනවා..එතකොට දෑස් බොඳ වෙලා ඉවරයි මටත් නොදැනීම..

මංගල්‍යයට කලින්දවසේ ගෙදර හරිම ප්‍රීතිමත්..එදාදවල් අපි පන්සලට දානයක් දුන්නා.ඒ වැඩ නිමකල්ලා කෑම බීම,වළං පිඟන් ආදිය අස්කරලා හැමෝම පුටු උඩ, පුටුඇඳි උඩ, ජනෙල් පඩිඋඩ එහෙම වාඩිවෙලා විහිළුතහළු කරමින් හිටියා.පවුලේ නෑදෑ ළමා ලපටි හැමෝම එකතුවෙන්නේ බොහොම කලාතුරකින්නේ.ඒත් අක්කාට නම් නිවණක් තිබුණේ නැහැ.ඇය ඒ මොහොතෙත් දුරකථනයට කොටු වෙලා කාටදෝ උපදෙස් දුන්නා.වැඩේ ඉවරයක් කරලම අක්කා ඇඳි පුටුවේ හරිබරි ගැහුනේ ලොකුඅක්කගේ පොඩි එකාවත් ඔඩොක්කුවේ වාඩිකරන්.ඔන්න ඉතින් සතුටු සාමීචිය පැය භාගයක් විතර යද්දී අපේ අප්පච්ච්ට තේ තිබහක් ආවා.ආච්චිඅම්මාටත් කියවුණා කහට උගුරක් තිබ්බානම් හොඳයි කියලා.

අපේ ගෙදර තේ කෝස් එක හැමදාම කරන්නේ අක්කා තමයි.ලොකු අක්කාගේ තේ වලට ඡන්ද ඉතාම අඩු නිසා හැමෝම අක්ක දිහා බැලුවා."..මැණිකේ..ඉතින් අද විතරයිනේ.." කියලා දයා පුංචි ආදරෙන් කිව්වාට පස්සෙයි අක්කා මූණ නරක් කරන් උනත් නැගිට්ටේ.

පොඩි එකා පිස්සු දඟවැඩ කරලා අපි හමෝවම හිනස්සන අතරේ තේ වෙනදාටවඩා පරක්කු බව අම්මට මතක් උණා.ආච්චම්මා සනීපෙට ඔළුව අතගාන අතරේ නිදිකිරාවැටෙමින් උන් මම "අක්කේ....මොකද පරක්කූ.." කියා අහගෙන කුස්සියට ගියේ නිදිමතේමයි.කෑම කාමරේ තිර නොදැමූ ජනේලය හරහ පෙනුණ දසුන මාව හිටි අඩියේම නතරකලේ පපුවේ ගඹුරුම තැනක යමක් හිරකරමින්.

මගේ අක්කා..මගේ ආදරණීය අක්කා..කුස්සියේ තේ හදන තැන බිම ගුලිවී වාඩිවෙලා දෑතින් පපුවට යමක් තදින් හිරකරගෙන සිටියා..සැම විටම සිනාරැලි වලින් වසාගෙන සිටි ඇගේ දුක පුපුරාගොස් දෝරේ ගලායමින් තිබුණා....හැඬුම් නවතා ගන්න දැඩි අරගලයක නිරත උණත්, සුමුදු තලෙළු කම්මුල් පෙඟීයන්න තරමට ගැලූ කඳුළු නවතාගන්නට ඇයට හැකිඋණේ නැහැ...ඇයගේ මුහුණේ එතරම් වේදණාවක් සටහන් වී තිබෙණවා මම මීට පෙර දැකලා තිබ්බේ නැහැ...අක්කාගේ කඳුළු ඒතරම් බරට කවදාවත් වැටිලා නැහැ......

ආයාසයෙන් දෑස් හැර නැගීසිටි අක්කා එතෙක් පපුවට සිරකරගෙන සිටි - අප්පච්චී තේ බොන, අණ්ඩේ පලුද්දක් ඇති පැණිපාට කෝප්පයට සීරුවෙන් තේ වත්කළා.එක හුස්මක් වත් නොහෙලා පාෂාණිභූතවී බලාසිටි මගේ දෑස් වැගිරෙන්න ගත්තේ,මීට වසර කිහිපයකට පෙර මහපොළ සැණකෙළියකින් අක්කාම මට ගෙනත්දුන් මිකීමවුස් රූපඇඳි තේ ජෝගුව ඇය කඳුළු වැකි කම්මුලට තදකරගත් මොහොතේයි.එතැන තවත් රැඳී ඉන්න මට ශක්තියක් තිබ්බේ නහැ.නානකාමරයට දුවන් ගොස් දොරවසාගෙන,ජලකරාමයේ හඬට මුවාවෙලා මම හොදටම ඇඩුවා.....දොරේ වනා තිබූ අක්කාගේ කහපැහැ සුවඳැති සාලුව මිරිකාගෙන මම ඇඩුවා.....

"කෝ මේ තේ හදන්න ගිය අයත් නෑ..බලන්න ගිය අයත් නෑ..විජෙ රජ්ජුරවන්ට උණා වගේද.."ඒ අප්පච්චියි.එතකොටම අක්කා දොරට ගහන්න ගත්තා ඇයට නාන්න ඕනායයි කියමින්.ඇයත් මමත් අහක බලගෙනම එකිනෙකා පසුකරන් ගියා.විවිධාකරයට හදපු තේ සමග බන්දේසිය මේසය උඩ තනිවෙලා.අක්කා එය සාලයට අරන් ගොස් නැහැ.තේ බන්දේසිය අතට ගත්වහාම අර පපුවෙ සිරවීම නැවත දැනුණා.

අක්කාගේ තේ කලාව...

අප්පච්චිට සීනි නොදැමූ කහට තේ..අම්මාට,පුංචිට හා ආච්චම්මාට හකුරුකැට සමග තේ..නුවර බාප්පාට ගැස්ට්‍රික් නිසා සුදුකිරි...පොඩි එකාට ලාවට කහට දැමූ කිරි..ලොකු අක්කට සුපුරුදු පරිදි කෝපි...අයියාට,නැන්දලාට කිරිතේ...ඒ අතරේ මගේ නෙස්ටොමෝල්ට් ජෝගුව..මේ සියල්ල නිහඬව දුම් දමමින් තිබ්බේ අක්කා හඬනු දැක දුක වාවාගන්නට බැරුව වාගෙයි.. අක්කා ගියාට පස්සේ හැමෝගෙම රසගුණ ලෙඩදුක් මතක තියාගෙන මෙහම තේ හදන්නේ කව්ද...?????තමන් කැමති පදමට හොඳ උණු තේකක් බොන්න හමෝම කැමතියි.අක්කා ඒ සතුට හැමෝටම දුන්නා.අක්කා යන්නේ ඒ සතුටත් අරගෙනද...

හුස්ම තදින් ඉහලට අල්ලගෙන බන්දේසිය නෑදෑ පිරිස කිට්ටුවෙන් තියලා මං එතනින් පිට උණා.ආදරණීය අක්කාගේ ආදරණීය කඳුළු මුහුවෙච්ච නෙස්ටොමෝල්ට් උගුරෙන් පහලට ගියේ විශාල දැවීමක් එක්කයි.මගේ කඳුළුත් අක්කගේ කඳුළුවලට මුහු වෙන්න ඇති.ගිනියම් තේ ජෝගුව කම්මුලට තද කරගත්තත් මට රස්නයක් දනුනේ නැහැ.එතකොටයි දැක්කේ මං බලා හිඳියා වගේම අක්කා කෑම කාමරේ ජනේලෙන් මන් දිහා බලන් ඉන්නවා.මම තදින් ඇස්පියාගත්තා..ආපහු බලනකොට අක්කා ගිහින්...

14 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

බොහොම තදින් හිතට දැනෙන්න ලියල තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියනවා නෙ.

ඔය දුකම මමත් කවදහරි තවත් කෙනෙකුට දැනෙන්න සලස්වයි. :P -- එහෙමත් හිතෙනවා.

මධුරංග ප්‍රභාත් said...

නියමෙට ලියල තියෙනව. මමත් ඔය අක්කල ගෙවල් දාල අයියලගෙ ගෙවල් වලට යන අත්දැකීම දෙපාරක්ම විඳල තියෙනව! උඹ මාව අතීතයට අරගෙන ගියා.

Nuwan said...

හරිම සංවේදී සටහනක්.
ජීවිතය ගැන ලොකු ආදරයක් හිතෙනවා.

Travel Ceylon said...

බලොග් අවකාශේ මාව අඬවපු එකම එකා උඹ තමයි. මටත් මගේ අක්කගෙ කඳුළු තේ එක මතක් වුනා.ජීවිතේ ඔහොම තමයි. අපි කැමති හැමදේම හැමදාම අපේ ලඟින් තියාගන්න පුළුවන්නම් කොච්චර හොඳද?

LishWish said...

ඇස් දෙකට කඳුලු එනවා.

මටත් සහෝදරියක් ඉන්නවා.. ඔය අත්දැකීම මට කවදා හරි විඳින්න වෙයි.

Naya said...

@ශාකුන්තල ,මධුරංග ප්‍රභාත්,Nuwan,තාරක,LishWish

අදහස් දැක්වූ ඔබ සැමට බොහොමත්ම ස්තූතියි..!!!

Prabath Chaminda said...

මටනම් අක්කා කෙනෙක් නෑ, ඒත් හුගක් දැනුනා හිතට මේ සටහන. හරියට කියවපු පොතක පිටුවක් වගේ.. තවත් ලියන්න...

Unknown said...

මටත් කවදා හරි ඔහොම වෙයි... ඇත්තෙන්ම ඇස් දෙකට කදුළු පිරුණා ලිපිය කියවද්දි. ඔයාගේ අක්කට සුභ අනාගතයක්!

Dasun Wanaguru said...

සහෝදරයා මට මහා දුකක් දැනෙනවා.....
මටත් අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම්............

චමිදේවා said...

ඇස් අද්දරට ආපු කඳුලක් නතර කරන් මේ වචන ටික ලිව්වේ.....

Anonymous said...

මට ඇඩුණා. මගේ අක්කා ගියාමත් කවදාහරි......අනේ!!!

Loku said...

ගොඩනැගෙන්නේ හැමදෙයක්ම
බිඳ වැටෙන්නයි කවදාක හරි
එහෙම බිඳුනාමයි ඉතින්
දැනෙන්නේ සුවඳ
ආදරේ...
ඉල්ලලා නොලැබෙන දේ
නොඉල්ලා හැමදාම ලැබෙන දේ එක්ක බැළුවාම
මොන තරම් සොච්චමක් ද?

අවිශ්ක said...

හෑමෝගෙම හිතට දෑනෙන්න ලියලා තියෙනවා...ඈත්තමය් ඈස් දෙකට කදුලු ඉනුවා දෑනුනෙවත් නෑ.....

Unknown said...

මං හැමදාමත් හිතනවා මටම කියල අක්ක කෙනෙක් හිටියනම් කොච්චර හොඳද කියල. ඒත් මේක කියෙව්වම හිතුන නොහිටි එක හොඳයි කියල. කතාව නම් සුපිරිම සුපිරියි. කියෙව්වම COMMENT එකක් නොදී යන්න හිතුනෙම නෑ. මටත් අක්කකෙනෙක් හිටියනම්........................................

Post a Comment

Related Posts with Thumbnails