වීනස්ව පොළවේ ගැසුවෙමි..!!!!!!!!!!!!!!

වීනස්ව පොළවේ ගැසුවෙමි.
කුඩුපට්ටම් උණේ මාවමයි..

මින්දදගෙ දුනු හී වලට ගිනි තැබුවෙමි.
අළුඋණේ මාවමයි ..

වැලන්ටයින්ව භූමිදාන කළෙමි.
වැලලුණේ මාවමයි..

රෝසමල් පොකුරු කඩා විසුරුවෙමි.
සීරුණේ මාවමයි..


නහරවැල් සමගින්
හෘදවස්තුව උදුරා දැමුවෙමි.
ම‍රණීය තුවාලෙත් අන්තිමට මටමයි..!!!



කළු සුදු සිහින

වර්ණ නැත.
එනිසා
සිහින නැත.
නමුත්
කළුසුදු පැතුමක් තවමත්
පන අදී..

වචන නැත.
එනිසා
කවි නැත.
නමුත්
වචනයට ගොනුකල නොහැකි තනුවක්
ලතවෙයි..

කඳුළු නැත.
එනිසා
හැඬුම් නැත.
නමුත්
කඳුලක දිය නොවන දුකක්
රිදුම් දෙයි..

ඈ නැත.
................................
එපමණයි.
ඉන් එහා කිසිවක් නැත.

පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය

දශකයකට පසු
මුණගැසුණු ණෑයෙක්
පිරික්සයි මා මූණත්තහඩුව
සීරුවෙන්..

වසා ඇස් දෙක
කපා කන් දෙක
මතුකර ගනී
මූණ මැද නාසය..

"මේ නං පොඩි ඉස්කෝලෙහාමිනේගෙ දරුවෙක්.."
හෙලි කරයි ජාතක සුලමුල
මොටද ඩීඑන්ඒ පරීක්සන

කිමිදී කැඩපතක
සොයමි මං මාවම
මා නුදුටු මාවම ,

සොයමි ඒ නාසය
නෑයාට හම්බුවුණු
අම්මගේ නාසය
පොඩි ඉස්කෝලෙහාමිනේගෙ නාසය ...!!!!!

නෑ-නොනෑ පැටලැවිලි විත්ති...

මේපාර අවුරුද්දට ගමේ ගිහින් ටික දිනක් වැඩිපුර ගත කරන්න ලැබුණා.එතකොට අවුරුද්ද නම් පහු වෙලා .හැබැයි ගමට තාමත් අවුරුදු.අපෙ අත්තම්මලගෙ ගෙදර තියෙන්නෙ මහ කන්දක.ඒක කැම්පස් කන්දට දෙවෙනි නැහැ. මග අමාරුකම් කොච්ච‍ර වුණත් නෑදෑකැල ගේ පැමිණීම නම් අඩුවක් නැහැ .

අත්තම්මගෙ තේ මේසෙ උදේ හතට විතර ඇරපු ගමන් රෑ කෑම වෙලාව වෙනකන් ම විවෘතයි .කැවිලි පිඟන් බලා ඉන්දිද්දිම හිස්වෙලා යනවා.ආයෙමත් පිරිලා මේසෙට එනවා.
ඉතින් කවුද මෙච්චරටම මේවා කන්න තරම් ඉන්නේ ....

නෑදෑයෝ ... !
නෑදෑයෝ ... !
ගමකට නෑදෑයෝ ...

රතුවත්තේ කරුණාදර බාප්පලගෙ ගෙදර ,උඩහ හංදියෙගෙදර ,කංකාණම් මහතැන්ගෙ ගෙදර ,සපුගොඩ තැපැල් ගෙදර ,අංපිටියෙ ලීලම්මලගෙ ගෙදර ,එගොඩහගොඩේ අබේවිර ගෙදර ,ජයතු මුදියන්සේගේ ගෙදර, පාත වෙල්මැද්දේ ගෙදර ,නාවිට ඉස්කෝලෙමහත්තෑලෑ ගෙදර ,මන්චනායක වෙදගෙදර ...වගේ එකී මෙකි නොකී ගෙ
වල් රාසියක ඇත්තෝ විඩෙන් විඩේ අත්තම්මලගෙ ගෙදරට ගොඩවෙනවා.එන්නෙත් බරටම අවුරුදු කද බැඳගෙනයි.අපේ පලාත්වල වගේ එකම කේක් ගෙඩිය ගෙන්ගෙට මාරු වීමක් නම් කොහෙත්ම වෙන්නේ නැහැ.

වැඩේ කියන්නේ මේ එන
හැමෝම අපේ නෑදෑයෝ වීමයි.කොහේ හරි වටයක් කැරකිලා ඇවිත් අන්තිමට නැන්දෙක් මාමෙක් පුන්චම්මෙක් බාප්පෙක් අයියෙක් අක්කෙක් වෙලා තමයි නතර වෙන්නේ.

නෑ කමේ අගමුල විස්තර කරන්නේත් අත්තම්මාමයි."මේ ඔයාලගෙ සීයගේ ලොකු නංගිගේ හිච්චි දූයි එයගෙ දුවයි.." "මේ අංපිටියෙ ගෙදර මද්දුමයා ..අපෙ තාත්තා මෙයැයිලගෙ බප්පා නේ.. " "අර ඉස්සෙල්ල ආපු පොඩි මාමගේ ලොකු අක්ක තමයි මේ.වෙදගෙද‍රටනේ දීග ගියේ...ඒනිසා දෙපාරකට නෑකං කියතැහකි.." අත්තම්මා කියාගෙන යනවා.මේවා පටලැවෙන්නේ නැතුව කොහොම මතක හියාගන්නද මන්දා. ගෙදර ගොහින් ෆැමිලි ට්‍රී එකක් වත් ඇඳගන්න ඕන කියලා හිතුන ඒවෙලේ නම්.

ලොකුම අවුල කියන්නේ මූණ බලලා වයසින් මේ නෑකම් තීරණය කරන්න බැරිකමයි.ඒ ඇත්තො එකිනෙකා අමතන්නේ නෑකමින් මිසක් වයස අනුව නම් නෙවෙයි."කිරිමාමගේ දෙවැනියා...ඔයාට වෙන්නේ අයියා " කිවුවම ආයිබෝවන් කිවුවෙ අපේ අප්පච්චිට චුට්ටකට බාල වෙන්න පුළුවන් අයියා කෙනෙක්.. අම්මටත් වඩා ලාබාල ලීලම්මා අත්තම්මට නංගී කියද්දී අත්තම්මා ඇයට අක්කේ කියනවා.සීයගේ වයසේ ඉන්න හැරමිට්ටෙන් වාරු ගන්න නාවිට ලොකු ඉස්කෝලෙ මහත්තයා අපෙ පුන්චම්මලාට තවමත් ඉස්කෝලෙ අයියාවෙලා.
මගේ වයසෙම දැරියකට කටෙ දිවේ නොගෑවී "නංගී" කිවුවේ වෙන කවුරුත් නෙවෙයි අපේ අම්මා මයි.(නාකි කොන්දොස්තර උන්නැහේ කෙනෙක් එහෙම ඔහොම කියුවොත් අම්මගෙ මූණ මට එවෙලේ මතක් වුණා )

ඇත්තටම ඒ සබඳතා හරිම අව්‍යාජයි.අවංකයි.අවුරුදු ගාණකට පස්සේ මුණගැහුණත්, මතක ඇති කලක මං ඔවුන්ගේ ගෙවල්වලට ගොඩවැදිලා නැතත් ඒහැමෝම වාගේ මං ගැන දැනන් හිටියා. මං ඉගනගන්නේ කොහේද, ඉගනගන්න විශයන් පවා දැන හිටියා.ඒත් ඒ ආ බොහොමයක් දෙනා මගේ නෑදෑයෝ කියලා වත් මම දන්නේ නැහැ .

අතිශය වැදගත් කියලා අපි හිතන් ඉන්න, එහෙමත් නැත්නම් සමාජ වටපිටාව විසින් අපට හිතවන බොහොමයක් දේ පස්සේ හඹායද්දී කොයිතරම් නම් දේවල් අපිට මග හැරෙනවද අපිම දන්නේ නැහැ.ඒ අතරෙ මනුෂ්‍ය සබඳතා මගහැරෙනවා වැඩිද මන්දා..භෞතික සම්පත් වලට අපි මුල්තැන දෙද්දී ගමේ නෑයෝ තාමත් ඒ අපූරු ඥාතී සබඳතා දැල් අත‍රේ ජීවත් වෙනවා.ඒ බැඳීම් හරි සුන්දරයි. අපිට ගම අමතක වුණාට ඔවුන් අපිව අමතක කරලා නැහැ.

නම් ගම් නොදන්න නෑ සනුහරයක ලෙන්ගතුකම හිතට ගෙනාවෙ උණුසුමක්.ලබන අලුත් අවුරුද්දට ඒ හැම ගෙදරකටම යන්න මං මාව පොරොන්දු කරගත්තේ ඒ ඥාතී බන්ධන වලට මං හුඟාක් බැඳුණු නිසායි.

ජීවිතයක වටිනම දේ මිනිස්සු..අනිත් හැමදේම ඉන් පස්සෙයි..
.

"දැං ඉතිං ශාරුක්ටවත් කියහං උඹව කොළඹට බස්සන්න "

උදේ ඇහැරෙද්දී
ඉර එලි පදාස
කොට්ටෙ උඩ..

ඇහි පියන් නිදිමත බේරද්දි
ඇද්දුවා ඉරිදට
නුවර යන එකම බස් එක ..

පාන්දර එකේ බඩු කෝච්චිය
කන්ද නග්ගද්දිත්
මං උන්නේ බොලිවුඩ් වල ..

"දැං ඉතිං ශාරුක්ටවත් කියහං
උඹව කොළඹට බස්සන්න "
ඒ අපේ අප්පච්චිගෙ හඬ...!!!

සිතුවිලි රුධිරයේ දිය නොවෙයි.....

නිහඬතාවය හඬක් නොනගයි...
සිතිවිලි උපදී
අවකාශය තවදුරටත් අවකාශයක් නොවේ
තිඹිරිගෙය අතහැර අනන්තයට මුහුවෙයි
එකිනෙක ගැටෙයි.. විසිවෙයි ..
බැඳෙයි...විසිරයයි..

යමෙ
ක් මේ සිතිවිලි සොයා යයි
දෙනෙතින් ඇතුල් වී
හදවත පිරික්සයි
මිටින් ගෙන බැලුවත්
සිතිවිලි හමු නොවේ
මහා ධමනිය රුහිරු වගුරයි
එනමුත්
සිතුවිලි රුධිරයේ දිය නොවෙයි..

සිතිවිල්ලක මරණය
එය උපන් ලක්ෂයයි
පනඅදින සිතිවිලි
අවකාෂයේ නොමැරෙයි
උත්පත්ති කේන්ද්‍රරයම
නැවතත් සොයාඑයි
උපත නම් මරණයේ දොරටුවයි..

තෙත් පසින් මොටෙයියන් මතුවෙයි
හිරුරැස් බිඳක් වුව සෑහෙයි
වියලුණු සිතක වුව පැතුමන් ඉපදෙයි
සිතුවිලි අතරින්
සුන්දරම සිතිවිල්ල
බලාපොරොත්තුවයි.........

පොත් කතා පොත්

පොත් නැති ජීවිතයක් ගැන මට නං හිතන්නවත් බැහැ. කොහේ ගියත් එක්කො මම පොත් හොයාගෙන යනවා.නැතිනම් පොත් මාව හොයාගෙන එනවා.

පොත් කියන්නේ ජීවිතේ.ජංජාලේ නැතිකාලේ මං ලෝකෙ ගැන දැනගත්තේ පොත් වලින් .ටෙලිවිශන් පෙට්ටියෙන් පෙන්නන රූප වලට වඩා පොතක් කියවලා හිතේ ඇඳෙන රූප වලට මං ආදරෙයි.අදටත් පොථෝර් පංචාලි චිත්‍රපටිය මං නොබලන්නේ ඒනිසයි.මං මවාගත්ත අපූගේ ලෝකය මට චිත්‍රපටියක්.

මේ පාර ඉස් ඉස්සෙල්ලම නෑගම් ගියේ පොඩිමාමලාගෙ ගෙදර.පොඩි මාමගෙ පොඩි පුත්‍රයාත් මම වාගෙම පොත් ගුල්ලෙක්. ගෙට ගොඩවෙලා කෙලින්ම ගියේ මලයාගේ පොත් ගබඩාවට.ඒක යතුරුදාලා ඉබ්බොත් දාලයි තියෙන්නේ. මං ආවමනං කිසිම පැකිලීමක් නැතුව හායි ගාලා ඇරලා දෙනවා.එයා ගෙද‍ර නොහිටියත් ගබඩාව ඇරගන්න විශේෂ බලපත්‍රයකුත් මට හිමියි.

මලයා පරිවර්තන පිස්සෙක්.ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම එයා ලඟ හියනවා.අනුලා ද සිල්වා මහත්මිය පරිවර්තනය කරපු පොත් හැම එකක්ම වගේත් තියනවා.මේ වගේ මල්ලිලා නං ජීවිතේට වාසනාවක්.මම සෑහෙන වෙලාවක් අරන් පොත් තේරුවා.මලයා පොත් කියවනවා වගේම පොත් ගැන සාධාරණ විචාරත් සපයපු නිසා අනර්ඝ පොත් ටිකක් තෝරගෙන එන්න පුළුවන් වුණා .ඒවායේ පසුවදන් මෙහෙමයි.

රාජ උරුමය පසුගිය වසරේ පළවුණ The Legacy නම් දැවැන්ත ඉංග්‍රීසි නවකථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.
ක්‍රි.පූ. 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිලකළ නොහැකි වටිනා කමකින් යුත් වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන නවකතාව ඉක්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයාගන්නා පුවත වටායි.ඒ හා සබැඳි පෞරාණික ගැටළුව ලිහා ගන්නට තැත් කරන විදෙශීය පුරාවිද්‍යාඥවරියට ත්‍රස්තවාදීන්ගේ
බල ලෝභී දේශපාලකයන්ගේද අතවර වලට මුහුණ දෙන්නට සිදුවෙයි.
දුටුගැමුණු රජ සමය ,වත්මන් ශ්‍රීලංකාව, එහි විච්ත්‍ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දෙශපාලන කුමන්ත්‍රණ ආදියද පසුබිම් කොටගත් මේ අපූරු නවකතාව සිංහලයට නගන්නේ ප්‍රකට පරිවර්තිකවක වන අනුලා ද සිල්වා මහත්මියයි.


වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතික සැප සම්පත් හඹා යන පිරිසකි. කෘතියේ එන ජුලියට් මැනටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ ධන කුවේර නීතිවේදියෙකි.කොතෙක් සැප සම්පත් මැද වුවද ආධ්‍යාත්මික සුවයක් නොලැබු ඔහු ජීවත් වීමේ අරමුණ කුමක් වියයුතුදැයි විමසා බැලීමට තමා සතු සියල්ල අතහැර සහනදායී පරිසරයක් සොයා යයි.පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.




චීන හමුදා සේවයේ නියුතු ලින් කොන් සෑම ගිම්හානයකම තම ගම්මානය බලා යන්නේ ආදර බැඳුමකින් තොර යෝජිත විවාහයක් මගින් ඔහු හා බැඳී සිටින කුලෑටි එහෙත් භක්තිමත් ගැමි බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමේ දැඩි අපේක්ශාවෙන් යුතුවය.එහෙත් හැම වරම ආපසු නගරයට යන ඔහුට එහි සිටින තම උගත් නාගරික පෙම්වතිය වූ මන්නා නම් හෙදියට ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම තව කල් දැමීමට සිදුවෙන බව පවසන්නට සිදු වෙයි .එකිනෙකාට බෙහෙවින් වෙනස් ගැහැණු දෙදෙනෙකුගේ පරස්පර විරෝධී ඉල්ලීම් වලට මැදිව පරදාර සේවනය ජීවිතය හා වෘතියේ පැවැත්ම විනාශ කරන හේතුවක් ලෙස සැලකෙන සමාජයක් තුල මේ අයුරින් දහ අට වසරක් ගෙවි යයි.
එහෙත් මේ වසරේ එය එසේ නොවන බවට ඔහු මන්නාට පොරොන්දු වෙයි....

ස්ථාපිත ආගම් සහ සම්මත දර්ශනවාදී ධනපති සමාජය තුල කෙමෙන් අර්බුධයට යද්දී ,ජීවිතය සහ මරණය අතර පවතින සත්‍යතාව යළි නිර්වචනය කිරීමේ අධ්‍යාශයෙන් ඔද වැඩෙන මිනිසා ,පෙරළා ඒ ධනපති සමාජ ක්‍රමයේම ගොදුරක් වන සැටි මෙම නවකතාවෙන් විචිත්‍ර වත් සේ නිරූපණය කෙරේ.






වෝර්සෝ නුවර යුදෙවුවන් හිට්ලර්ගේ මාරක හමුදා එනතෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ,ආරොන් සම්ප්‍රදායික අතීතයක් සහ අස්ථිර අනාගතයක් අතර කල් ගෙවයි.විවිධ ගැහැනු ඔහුට විවිධ දොරටු විවර කරති.විශේෂයෙන් හිට්ලර්ගේ අළුගෝසු හමුදාවෙන් දිවිගලවාගෙන පලායාමේ ඉඩකඩ ඉන් ප්‍රමුඛය.එහෙත් ළමා වියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක් ද?
ඔහුගේ මිතුරු මිතුරියන්ට ඇයත් , ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමනක් නොව ඔහුගේ මරණය ලං කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය.
පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව මිනිස් සන්තානයේ දරුණු ප්‍රෙහේලිකාවක් එකලස් කර ගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.

තාගෝර්ගේ නිර්මාණ සම්බන්ධ උනන්දුවක් දක්වන රවීන්දනාත් තාගෝර් සුළවතුන් මතු නොව සාහිත්‍ය රසකාමී කවරෙකුට වුවද රසවත් අත්දැකීම් සමුදායක් මෙම කෘතියෙන් තම අනුභූතීන්ට එකතුකොට ගත හැකිය.
මුල් කෘහියෙ ඇති හර පද්ධතිය නොසිඳෙන ආකාරයට උපරිම වශයෙන් ඊට සමීපවිය හැකි සේ පරිවර්තන කාරිය ඉෂ්ට සිද්ධකොට ඇතැයි පැවසිය හැක්කේය.




තවත් සතියක් නිවාඩු නිසා නිදහසේ මේ සියල්ල කියවන්න පුළුවනි.මේ ටිකේම පැණිරස කෑම කාලා එපාවෙලා නිසා පොත් කන්න පටන්ගන්නයි මගේ ලෑස්තිය.

පැණිරස කවි කෑලි..

අම්මාගෙ තට්ට කැවුමට
නක්කලේට හිනාවෙන
අත්තම්මගේ පැණි කැවුම්..

අත්තම්මගේ වැලිතලපෙට
හැමදාම පරාදවෙන
අම්මගේ පොල් වන්ඩු...

අපේ අම්ම හීනෙන්වත්
හදන්න නොහිතන,
රස හැලෙන - කුඩු හැලෙන
උඩබැලුම්..

අත්තම්මා නොහදන
අම්මාව දිනවන
ජයග්‍රාහී
ෆෘට් කේක්...!!!

හුදකලා ප්‍රීතිය

නිර්වචනයක් හරියට දන්නේ නැති වුණත් මං හුදකලාවට හරිම ප්‍රියයි.හුදකලාව විඳීමක්..විඳවීමක්..වෙලාවකට ගැලවිල්ලක්..

ගෙදර නිවාඩුවෙ ඉන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩු නිසා අම්මටයි අප්පච්චිටයි ඕන එයාලා යන හැම නෑදෑ ගෙදරකටම මාවත් එක්ක යන්න.සමහර තැන් වලට ගිහින් බොරු හිනා මූණක් දාගෙන ඉන්න එක මට මහ එපා කරපු වැඩක්.ගිය සතියෙ දවසක ඒවගේ බොහොම දරුණු ගමනක් යන්න යෙදුණා.මටනම් බෑ කියලමයි හිතුනෙ.ගැලවෙන්න වෙන විකල්පයක් තිබුණෙම නැති නිසා අකමැත්තෙන් වුණත් මුසාවාදයක් පිට කරල තමයි අන්තිමට බේරෙන්න ලැබුණේ. මම අප්පච්චිට කිවුවා කැම්පස් එකෙ නොගිහින්ම බැරි වැඩක් වැටිලා කියලා.

ගමන යන දවසෙ වෙනදා වගේම අම්ම මාව ඇහරුවා උදෙන්ම.කඩිමුඩියෙ ලෑස්තිවෙලා එලියට බැහැලා වෙලාව බලනකොට පහමාරයි .

මට යන්න තැනක් නෑ.!!!!!!!!!!!!

ඇත්තටම මං කොහෙද යන්නේ...ඒක හරිම ආධුනික හැඟීමක්.යන්න එන්න තැනක් නැතිවෙච්චි කෙනෙකුට දැනෙන අසරණ හැඟීම මටත් මොහොතකට දැනුණා. කිවුවට මොකද එතකොට අපේ විභාගෙත් ඉවරයි.මගේ සගයෝ ටික ඔක්කොලාම ගෙවල් බලා ගිහින් .කැම්පස් එකේ අඳුරන කියන බලු බල්ලෙක් නැතුව ඇති. පගසුවෙන්ම යන්න පුළුවන් යාළු මිත්‍රාදීන් ඕන තරම් හිටියත් මට ඒකිසි තැනක යන්න හිත් දුන්නෙ නෑ .

මේක මම ඉල්ලලා දාගත්තු ලෙඩක්නේ.ඇත්තටම මට ඕන වුණේ වෙනස් දෙයක්.මගේම හුදකලාවක්.මගේම දවසක්.සිතිවිල්ලෙන්ම මං බස් හෝල්ට් එකත් පහු කරන් ගිහින්. හැමදාම බස්කටුවල යන එකේ මං එදා කෝච්චියෙන් යන්න තීරණය කළා. මන්දගාමී දුම්රියක් නිසා සෙනගත් අඩුයි. විසාල ජනේලයක් ලඟ වාඩිවෙලා ,හිසේ කෙස් ගැලවිලා යනතරමේ සැර , හීතල හුළං පාරට මුණ අල්ලගෙන ටික වෙලාවක් යද්දි හිත සන්සුං වෙලා ,අර අසරණ හැඟීම හුළඟට ගහගෙන ගියා වාගේ දැනුණා.අහස අළුපාටින් දම්පාටට හැරුණා.එලිවෙන්න හොඳටම ලඟයි.

"Good Morning..!" කියාගෙන විසාල ගමන් මල්ලක් එක්ක පොර අල්ලමින් සුදු සීයා කෙනෙක් මට එහාපැත්තෙන් වාඩි වුණා.මදැයි.දැන් උරුක් කරපල්ලකො කඩු උදේ පානදරම..!සීයලා ආච්චිලා කිවුවම ලොකේ කොහේ ඉඳන් ආවත් වෙනසක් නෑ වගෙයි.ඒගොල්ලන්ට ඕන කතා කරකර ඉන්න.සුදු සීයත් අනාරධිතවම කතාව පටන් ගත්තා.මං වචන ඇමුණුවා. සීයගේ කතා විලාසෙ හරි අපුරුයි.අතර මැදදි හහ් හහ් ගාලා මහා හයියෙන් හිනා වෙනවා .ඒ හිනාවෙන් ධයිර්යමත් වෙච්චි මං දන්න වචන ඔක්කොම දාලා කතාකරන්න ගත්තා.ඉංගිරිස් පොඩ්ඩක් වැරදුණාම හිනා වෙන්නේ කවුද කියලා මට පසක් වුණේ එදායි.

සීයා කලින් පාදිලි කෙනෙක්.එයාගේ පුතා අවුරුදු 2ක් තිස්සේ ලංකාවෙලු වැඩ කරන්නෙ.ඉතිං පුතාගේ අනුග්‍රහයෙන් තමා ලංකාව බලන්න ඇවිත් තියෙන්නේ.සීගිරිය බලන්නත් ගිහින්.කුරුටු ගී ගැන සීයට ප්‍රශ්නයක්.එයා තෙරුම් අරන් තියෙන්නේ කැටපත් පවුරෙ ලියලා තියෙන්නෙ සීගිරියෙ ඉදිකිරීම් ඉතිහාසයය කියලයි.ගයිඩ් කාරයා තව මොනව කියලද මන්ද.මං ඉතින් දන්න විදියට පැහැදිලි කර ල දුන්න.සිංහල පොතක තිබිල මතක් වෙච්චි කුරුටු ගීයකුත් කියල තෙරුමත් කිවුවා.

ලඳ මන බන්දනා - පහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා - මණි අකුස් හී ලයි ගන්නා...

ඇල්ම ඇති කරවන ,පහැබර සිනා ඇති ,සිතේ සතුට දනවන,කතකට ආලය කිරීම මැණික් හෙණ්ඩුවකින් පපුවට ඇන ගත්තා වැනිය..."

ඔන්න ඕකයි තේරුම.ඒක අහපු සීයා ආපහු මහා සද්දෙට හිනාවෙලා කිවුවා කතාවනම් සහතික ඇත්ත බව. :) එයා එක ඩයරියෙත් ලියගත්තා .බහින්න කලින් සීයා මට දුන්න ලස්ස්න පොස්ට් කාඩ් එකක්.මං මොනව දෙන්නද.වෙලාවට මතක් වෙලා මං ලඟ තිබ්බ අපෙ සොසයිටියෙන් ගහපු පෑන් 2කුයි,වෙනින් ෆැකල්ටියකින් ගහපු ඩේ කාඩ් එක්කුයි දුන්න..සීයට සතුටුයි.එයා කොච්චියෙන් බැහැලා ඈත නොපෙනී යනකන් අපි එකිනෙකාට අත වනා ගත්තා. ඒක හරිම ප්‍රීතිමත් හමුවීමක්.

කෝච්චියෙන් බැහලා කැම්පස් එකට යනකල් බස් එකේ නිදගත්තා.කැම්පස් එක පාළුවට ගිහින්. ෆොටෝකොපි කඩෙත් වහලා. සොයන්නාට සම්භවේ කිවුවා වගේ මං ඉතින් ආවෙත් හුදකලාව හොයාගෙනම නේ.

ළමයි නැති ටිකට මැයි ගස් මල් පුරෝගෙන. හරිත තණ ඇතිරිලි මල් පෙති වලින් වැහිලා...විසාල මැයි ගස් යට .. සුදු ටෙරාසෝ බංකු උඩත් මල්. හරියට චිත්‍රයක් වගෙයි...මාත් සිතුවමට එකතු වුණා. ..ඉර එළිය තැන තැන ආලෝක රටා අඳින උදෑසනක,...කුරුළු සංගීතෙ,හින් හුළඟ විඳගෙන..මල්පෙති විසිරුන සිතුවමක ඉඳන් රසවත් පොතක පිටු අතරෙ තනිවෙන එක කොච්චර සුන්දරද....

ඒක අති සුන්දර තනිකමක්..
ප්‍රීතිමත් හුදකලාවක්...
ජීවිතේ උපරිමයි කියන්නේ මෙන්න මේ වගේ නිමේශයන්ට වෙන්න ඇති .

වෙලාව ගියේ මටත් නොදැනිමයි.ගමන් මල්ල උඩත් මල්.සිතුවමෙන් මිදිලා මං ගියා ප්‍රින්ටවුට් කඩේට.කොලයකට 2.50යි.මට තිබ්බ කොළ 346ක් ගහන්න. වේටින් ලිස්ට් එකේ ඉඳලා බයින්ඩින්නුත් කරලා එළියට බහිද්දි 10ත් පහුවෙලා.

දැන් මොකද කරන්නේ.වැඩකුත් කරගත්තට ගෙදරයන්න කලින් වැඩියි.දැන් මොකද කරන්නේ.
හිතන්න...හිතන්න..හිතන්න...හිතුණා...!!!!!!!!.මං කොල්ලු
පිටිය බලා පියෑඹුවා..පෝලිමකුත් නෑ.ටිකට්ගත්තා.මං ලිබර්ටි සිනමා හල ඇතුලේ.දෙවනි පාරටත් "My name is Khan" බලන්නයි යන්නේ.පලවෙනිපාර බලපු කොපිය සවුත්තු නිසා කොහෙත්ම පාඩුවක් නැහැ.කරදරයක් නැතුව පොප්කෝන් ගිලිමින් මම චිත්‍රපටිය බැළුවා.ශන්කර් මහදේවන්ගෙ සංගීතෙත් උපරිමයි.
ජීවිතේ නියමයි ..!

එළියට එද්දි 2.30ට කිට්ටුයි.බඩ කෙඳිරි ගානවා.කොහාටද යන්නේ..? උතුරින් P&S??..No..!!!! නැගෙනහිරින් Dine more??...No..!! එහෙනම් Caravaan..?? No! Pilavus..? No.! Indo Ceylone..??..YES !!!!!!!!!!.කෑම ප්‍රනීතයි.ගානත් පහසුයි.කාලා කොල්ලුපිටියෙන් කොටුවට එනටිකට මාව ආපහු විජලනය වුණා.ඉරට හැතැප්මයි නොවැ.ඔන්න එතකොට තමයි මතක් වුනේ කමුබොමු අයියලයෙ දොඩ්ම් කඩේ. බීම පංකාදුයි.වෙලාවෙ හැටියට කියලා වැඩක් නෑ.(කමු බොමු කට්ටියටම පිං )පවස හෙම නිවාගෙන ඉස්ටේසමට ගියා.

කෝච්චියට වෙලා වැඩියි.මම යකඩ පුටුවක හාන්සි වෙලා වටපිට නරබන්න ගත්තා.ඒක තවත් චිත්‍රපටියක් බලනවා වගේයි.විවිධාකාර මිනිස්සු,එක එක සෝරතියෙ අඳුම් ආයිත්තම් ,ගමන් තාල ,කතා බස්...බලාගෙන ඉන්න දේවල් ගොඩයි.ටිකවෙලාවක් යද්දි ඇඩ් එකක් වැටුනා.මල්ලිලා දෙන්නෙක් කොච්චියක් ගැන ඇහුවා.ඒගොල්ලො යන්නෙත් මං යන එකෙමයි.ක්‍රිකට් තරඟෙකට කොළඹ ආපු පාසල් කණ්ඩායමක්.ක්‍රීඩකයොයි,ගුරුවරුයි,ඔවුන්ගේ දෙමාපිය සහෝද‍ර සහෝදරියනුයි ඔක්කොම 25ක් විතර.කතාවෙන් කතාවෙන් කොච්චියත් ආව.අපි ඔක්කොම එකම පෙට්ටියේ එකලඟ ආසනවල.

හරිම විනෝදකාමී පිරිසක්.මල්ලිලා සින්දුකියන්න පටන්ගත්තා.සර්ලා තත්තලාත් එකතු වුණා.අගේ ඇති සිංදු ටිකක් කියවුණා.මමත් ඉතින් පුළුවන් හැටියට සහයෝගය දුන්න.මාත් ඔවුන්ගෙම කෙනෙක් වෙලා.අතරින් පතර රටකජු,ඔරෙන්ජ්ක‍්රශ් එහෙම ලබුණා.ගුරුගෝල වෙනසක් නැතුව හැමෝම හිටියෙ හරි විනෝදෙන්.එවෙලේ තේරුමක් නැතත් ඒවගේ මොහොතවල් පස්සේ දවසක මතක් කරද්දි හරි අපුරුවට දැනේ වි.මතක ගබඩාවල ලොකු ඉඩකඩක් ලබා ගනීවි.

මම බහිද්දි හැමෝම් මට සුභ පැතුවා.මං සීයට අත වැනුවා වගේ කට්ටිය මට අත වැනුවා.තවත් සුන්දර හමුවීමක් සහ වෙන්වීමක්..

ගෙදර එද්දි අම්මලා ඇවිත්.මුණ කට හෝදගෙන තේ බොද්දි අම්ම ඇහුවා ගිය වැඩේ ගැන.මගේ මුණෙ ඇදුණෙ තෘප්තිමත් හිනාවක්.කියාගන්න බැරි හුඟක් දේවල් ඒකෙ හිබුනා.

ආතක් පාතක් නැතුව පටන් ගත්හට දවස සුන්දරයි.වින්දනය උපරිමයි.හුදකලාව ප්‍රීතිමත්.

මේ හැමදේම රඳා පවතින්නේ කෙනෙක් හිතන පහන ක්‍රියා කරන හැටියටයි. මම ඔහේ බුම්මගෙනන.එහෙම නැත්තන් හෙඩ්සෙට් එක ගහගෙන වෙන ලොකෙක වගේ හිටියනන් සුදු සීයගේ පිරිසිදු හිනාවවත් ,මල්ලිලගේ සිංදුවත් නැතුව තනිසඳේ යන්න එන්න තිබුණා.ගහක් යට වාඩි වුණොත් කාක්කෙක් තැග්ගක් දෙයි කියලා ලයිබ්‍රරිය අස්සට ගියානම් අර වගේ විචිත්‍ර අත්දැකිමක් කොහොම ලබන්නද... එහෙනම් දැනෙන හැඟීම් කොච්චර වෙනස් වෙන්න තිබුණද..... හිත කියන්නෙ ප්‍රබල ආම්පන්නයක්.හිතින් මතුවෙන සිතිවිලි අනුව කරන කටයුතු වලින් මොහොතක්..දවසක්..ජීවිතයක්.. කොයිතරම් දුරට වෙනස් කරගන්න පුළුවනිද..ඒවෙනස හොඳ පැත්තට කරගන්න පුළුවන් නම් ඒකයි වටින්නේ.

එදා ගමන් විඩාව උනත් තෘප්තිමත් ...

හැමවිටම නැතත් ජීවිතේ හරි සුන්දරයි...!




මතක වැල් ....

පරණ ලාච්චුවක් කියන්නේ මතක ගොඩක්. අවුරුද්දට ගෙවල් දොරවල් අස් කරද්දී ,අයින්කරල දාල තිබ්බ මේසෙක ලාච්චුවකින් මට නිධානයක් හම්බුණා.
ආදරණීය මතක පොදියක්.....
උසස්පෙළ සමයට අදාල,පරණ නොවිච්ච මතක තොගයක්....
අතේ සතේ දීලා අරගතිපු කැම්පස් වලින් ගහපු බූක්මාර්ක්ස්(දැන් නං සල්ලිත් එක්ක දුන්නත් ගන්නේ නැහැ නේ.), ඒවයෙ පිටිපස්සෙ අපිම ලියාගතිපු කවි, වෙසක් කාර්ඩ්ස්, උපන්දින සුභ පැතුම්,විද්‍යුත් තැපෑල ජනප්‍රිය නැති ඒ කාලේ පිටරට හිටි යාළුවෙක් එවපු ලියුම්..වගේ සෙන්ටිමෙන්ටල් දේවල් ගොඩයි.

ඒවත් එක්ක තිබුණ ඔරිගමි ක්‍රමයට නවපු පුංචි සුදු හංසයා මට මතක වැලක් පෙන්නුවා.ඕක ලැබුණ දවස අපේ පන්සලේ කථින පිංකම.සමහර පුංචි දේවල් එක්ක ඊට සම්බන්ධ /කොහෙත්ම සම්බන්ධ නැති දේවල් පවා මතකෙට එන හැටි පුදුමයි.

කොහොමහරි ඔන්න මං හිටියේ ෆිසික්ස් පන්තියේ බංකු තීරුවක බොහොම අපහසුවෙන්.පිටිපස්සේ ඉඳන් අතින් අත මාරුවෙලා හංසයා මන් ලඟට අවා.මොන හේතුවක් නිසාද මන්දා (මතක නෑ )මට ඒක ඉස්සරහට පාස් කරන්න ලබුණේ නැහැ.ආපහු මතක් වුණේ පස්සේ දවසක ගණන් හදන්න කියලා ටියුට් මිටිය දිග ඇරගත්තු වෙලාවකයි. ෆිසික්ස් ගණන් වලට වඩා වෙන ඕනම දෙයක් හොඳයි කියලා හිතුණු කාලයක් නේ ඒක..:)මමත් ඔරිගමියක් නවන්න හිතාගෙන හංසයාව දිගඇරියා.

ඒකෙ ඇතුලේ කවියක්..!

"I'm too shy to ask.. I'm too proud to lose
but sooner or later I go to choose
But once gain I'm thinking about
taking the easy way out..

But if I let you go..I will never know....! "

හංසයන්ගේ පාදවල ගැට ගහලා සංදේශත් යැවුණු එකේ...නවීන තාලෙට සුදු කොලයක සංදේශය ලියලා ..ඒකෙන් හන්සයෙක්ව නවලා යවන එක් හරිම සුන්ද‍ර නිර්මානත්මක වැඩක්..

පස්සේ සතියේ යාළුවන්ගෙන් විපරම් කරල බැළුවට කවියේ අයිතිකාරයාවත් , එවුවේ කාටද කියලාවත් හොයා ගන්න බැරි වුණා .ඔන්න ඔහොමයි හංසයාට අන්තිමට මගේ ලාච්චුවේ පදිංචි වෙන්න සිද්ද වුණේ.

ඊට අවුරුදු ගාණකට පස්සේ වුණත් ආපහු ඒ අකුරු වැල් කියවද්දි දැනුණෙ හරිම ආදරණීය හැඟීමක්. හරියට කවුරුහරි මට ලියපු එකක් කියෙවුවා වගෙයි.මේක නියමිත කෙනා අතට ගියානම්..ඇය මේක කියෙවුවානම්...
ඒතනින් එයාගේ ජීවිතෙ මොනයම් හරි වෙනසක් වෙන්න තිබ්බේ නැද්ද..

පුංචි සුළු සුළු දේවල් සමහර වෙලාවට මුළු ජීවිත කථාවක්ම වෙනස් කරනවා. ..!

සමහර විට ඇය ඔහුගේ ආදරේ ගැන කවදාවත් දැනගන්න නැතුව ඇති.. එතකොට ඔහු.. ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිකමෙන් දුක් වෙන්න ඇති... එහෙමත් නැත්නම් හංසයා නිසි කෙනා ලඟට පියෑඹුවෙ නැති හැටි දැකලා ඌ ආයෙමත් ඔරිගමියක් නවලා යැවුව වෙන්නත් බැරි නෑනේ.

අපි හැමෝම මතක වලට ලොබයි.සමහර වෙලාවට අපි යම් පුද්ගලයන්ටත් වඩා, ඒගොල්ලන් ගැන අපි ලඟ තියන මතක වලට ආදරෙයි.ඒනිසා වෙන්න ඇති කොච්චර සිත‍්රිදවීම් උණත් අපි ඒගොල්ලන්ට සමාව දෙන්නේ..අසුන්දර දේවල් කොයිතරම් සිද්ධ වුණත් සුන්දර අතීත මතකයන් මතක් කරගෙන හිත හදාගන්න හදන්නේ..

ජීවිතේ සමහර දේවල් මතක තියාගන්න අපිට බල කරනවා. ඒත් මොලේ හරියට පෙරහනක් වගෙයි.හැලිලා හලිලා ගිහින් අන්තිමට ඉතිරි වෙන්නේ සීමිත ප්‍රමාණයක්.

මේ මතක ගබඩාව ඕනම මනුස්සයෙක්ගේ ජීවිතේ වටිනම කොටසක්.වෙලාව්කට අපි ඒක අවුස්සන්න ,පතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න බයයි.ඒ අපි අකමැති දේවලුත් හියෙන්න පුළුවන් නිසා.මතක හිටින නොහිටින දේවල් කොයිවද කියලා 100%ක් තීයරණය කරන්න අපිට බැහැ.ඒත් තව කෙනෙකුගේ මතකයක් විදියට රැඳෙන්නේ කොයි විදියටද කියන එක තීරණය කරන්න බැරිකමක් නැහැනේ.

සුන්ද‍ර මතකයක් හැටියට තවෙකෙකුගේ හිතක, මතකයක සදාකලටම බැරිනම් බොහෝ කලක් හරි රැඳෙන්න පුළුවන් නම් අපි හරි වාසනාවන්තයි .
මොකද දන්නවද ...


මිනිස්සු මතක වලට හරි ආදරෙයි..

අග මුල නැති සිතිවිලි...සිතිවිලි...

ජීවිතේ එක පරිච්ඡේදයක් ඉවරවෙන්න යද්දී ,අලුත් එකක් පටන් ගන්න යද්දී දැනෙන නොසංසුන්කම..හිස්බව.. .පැටලැවිල්ල ඇතුලේ මම හිරවෙලා.එලෙවල් ඉවරවෙලා කැම්පස් තේරෙනකල් ආතක් පාතක් නැතුව බලන් උන්නු කාලෙත් ටිකක් මෙන්න මේ වගේයි. ඒත් වර්තමාන තත්වය ඊට වඩා වෙනස්.හිතේ බර වැඩියි.මවපු හීන , දෙමවුපියන්ගෙ බලපොරොත්තු ඒ බරට එකතු වෙලා.

විශ්ව විද්‍යාලෙ කියන්නේ හරි අපූරු තැනක්.අත්දැකීම් ගොන්නක්.ඒ ජීවිතෙන් මිදෙන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඒත් තව නොබෝ කලකින්ම ඒ යථාර්තය මතුවෙනවා. ඊට පස්සේ ජිවිතේ කොයිවගේ වෙයිද ...ඒක නොපැහැදිලියි.

මිනිස්සු වෙනස් වෙනවා වගේම හීනත් වෙනස් වෙනවා.වෙනස් වෙන පුද්ගලයෙක් එක්ක හීනයක් වෙනස් නොවී පවතින්න පුළුවනිද? බැරිද? හීනයක් යථාර්තයට කොච්චර සමීප වෙන්න ඕනද? මේ හැම දේම පුද්ගලිකයි.අපි හිතුවට අපි අනිත් අයට වඩා වෙනස් කියලා ,අන්තිමට අපිත් අනිත් හැමෝම වගෙයි.

මේ හිස් බව හිතේම ස්වභාවයක්.සිතිවිලි වලින් ,දහසක් වැඩ වලින් වැහිල තියෙද්දි කොයින්ද හිස් බවට ඉඩක්.. එසයිමන්ට් ,ප්‍රොජෙට්ස්, විභාග ,නිදිමැරිලි එක්ක කාලයක් පොරබැදලා එකපාරටම දීර්ඝ නිවාඩුවක් ලැබුනහම ඒකට අනුගත වෙන්නත් ටිකක් අමාරුයි වගේයි.ඒත් කොයි තත්වෙට උණත් අන්තිමට අපි පුරුදු වෙනවා.

ලිවිම සහනයක්.ජීවිතේ ගැන ,චිත්ත සංතානය ගැන මේට කලින් නොහිතපු නොදැකපු පැති එතකොට පේන්න ගන්නවා. හරියට හිත ඇතුලේ තිබ්බ ඇහැක් විවෘත වෙලා වගෙයි.ඒ ඇහැට හුඟාක් දේවල් පේන්න ගන්නවා..තේරෙනවා...

අන්න ඒ ඇහැට වගේ මුළු ඇතුලාන්තය තේරුම්ගන්න,දකින්න පුළුවන් කෙනෙක්ව හැබෑ ජීවිතේදි යමෙකුට මුණගැහෙනවානම් ,ඒක වාසනාවෙ උපරිම අවස්ථාවක්.එහෙම වෙන්නේ හරිම කලාතුරකින් .

ඒත් ආදරේ සුලභයි....!
Related Posts with Thumbnails