හුදකලා ප්‍රීතිය

නිර්වචනයක් හරියට දන්නේ නැති වුණත් මං හුදකලාවට හරිම ප්‍රියයි.හුදකලාව විඳීමක්..විඳවීමක්..වෙලාවකට ගැලවිල්ලක්..

ගෙදර නිවාඩුවෙ ඉන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩු නිසා අම්මටයි අප්පච්චිටයි ඕන එයාලා යන හැම නෑදෑ ගෙදරකටම මාවත් එක්ක යන්න.සමහර තැන් වලට ගිහින් බොරු හිනා මූණක් දාගෙන ඉන්න එක මට මහ එපා කරපු වැඩක්.ගිය සතියෙ දවසක ඒවගේ බොහොම දරුණු ගමනක් යන්න යෙදුණා.මටනම් බෑ කියලමයි හිතුනෙ.ගැලවෙන්න වෙන විකල්පයක් තිබුණෙම නැති නිසා අකමැත්තෙන් වුණත් මුසාවාදයක් පිට කරල තමයි අන්තිමට බේරෙන්න ලැබුණේ. මම අප්පච්චිට කිවුවා කැම්පස් එකෙ නොගිහින්ම බැරි වැඩක් වැටිලා කියලා.

ගමන යන දවසෙ වෙනදා වගේම අම්ම මාව ඇහරුවා උදෙන්ම.කඩිමුඩියෙ ලෑස්තිවෙලා එලියට බැහැලා වෙලාව බලනකොට පහමාරයි .

මට යන්න තැනක් නෑ.!!!!!!!!!!!!

ඇත්තටම මං කොහෙද යන්නේ...ඒක හරිම ආධුනික හැඟීමක්.යන්න එන්න තැනක් නැතිවෙච්චි කෙනෙකුට දැනෙන අසරණ හැඟීම මටත් මොහොතකට දැනුණා. කිවුවට මොකද එතකොට අපේ විභාගෙත් ඉවරයි.මගේ සගයෝ ටික ඔක්කොලාම ගෙවල් බලා ගිහින් .කැම්පස් එකේ අඳුරන කියන බලු බල්ලෙක් නැතුව ඇති. පගසුවෙන්ම යන්න පුළුවන් යාළු මිත්‍රාදීන් ඕන තරම් හිටියත් මට ඒකිසි තැනක යන්න හිත් දුන්නෙ නෑ .

මේක මම ඉල්ලලා දාගත්තු ලෙඩක්නේ.ඇත්තටම මට ඕන වුණේ වෙනස් දෙයක්.මගේම හුදකලාවක්.මගේම දවසක්.සිතිවිල්ලෙන්ම මං බස් හෝල්ට් එකත් පහු කරන් ගිහින්. හැමදාම බස්කටුවල යන එකේ මං එදා කෝච්චියෙන් යන්න තීරණය කළා. මන්දගාමී දුම්රියක් නිසා සෙනගත් අඩුයි. විසාල ජනේලයක් ලඟ වාඩිවෙලා ,හිසේ කෙස් ගැලවිලා යනතරමේ සැර , හීතල හුළං පාරට මුණ අල්ලගෙන ටික වෙලාවක් යද්දි හිත සන්සුං වෙලා ,අර අසරණ හැඟීම හුළඟට ගහගෙන ගියා වාගේ දැනුණා.අහස අළුපාටින් දම්පාටට හැරුණා.එලිවෙන්න හොඳටම ලඟයි.

"Good Morning..!" කියාගෙන විසාල ගමන් මල්ලක් එක්ක පොර අල්ලමින් සුදු සීයා කෙනෙක් මට එහාපැත්තෙන් වාඩි වුණා.මදැයි.දැන් උරුක් කරපල්ලකො කඩු උදේ පානදරම..!සීයලා ආච්චිලා කිවුවම ලොකේ කොහේ ඉඳන් ආවත් වෙනසක් නෑ වගෙයි.ඒගොල්ලන්ට ඕන කතා කරකර ඉන්න.සුදු සීයත් අනාරධිතවම කතාව පටන් ගත්තා.මං වචන ඇමුණුවා. සීයගේ කතා විලාසෙ හරි අපුරුයි.අතර මැදදි හහ් හහ් ගාලා මහා හයියෙන් හිනා වෙනවා .ඒ හිනාවෙන් ධයිර්යමත් වෙච්චි මං දන්න වචන ඔක්කොම දාලා කතාකරන්න ගත්තා.ඉංගිරිස් පොඩ්ඩක් වැරදුණාම හිනා වෙන්නේ කවුද කියලා මට පසක් වුණේ එදායි.

සීයා කලින් පාදිලි කෙනෙක්.එයාගේ පුතා අවුරුදු 2ක් තිස්සේ ලංකාවෙලු වැඩ කරන්නෙ.ඉතිං පුතාගේ අනුග්‍රහයෙන් තමා ලංකාව බලන්න ඇවිත් තියෙන්නේ.සීගිරිය බලන්නත් ගිහින්.කුරුටු ගී ගැන සීයට ප්‍රශ්නයක්.එයා තෙරුම් අරන් තියෙන්නේ කැටපත් පවුරෙ ලියලා තියෙන්නෙ සීගිරියෙ ඉදිකිරීම් ඉතිහාසයය කියලයි.ගයිඩ් කාරයා තව මොනව කියලද මන්ද.මං ඉතින් දන්න විදියට පැහැදිලි කර ල දුන්න.සිංහල පොතක තිබිල මතක් වෙච්චි කුරුටු ගීයකුත් කියල තෙරුමත් කිවුවා.

ලඳ මන බන්දනා - පහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා - මණි අකුස් හී ලයි ගන්නා...

ඇල්ම ඇති කරවන ,පහැබර සිනා ඇති ,සිතේ සතුට දනවන,කතකට ආලය කිරීම මැණික් හෙණ්ඩුවකින් පපුවට ඇන ගත්තා වැනිය..."

ඔන්න ඕකයි තේරුම.ඒක අහපු සීයා ආපහු මහා සද්දෙට හිනාවෙලා කිවුවා කතාවනම් සහතික ඇත්ත බව. :) එයා එක ඩයරියෙත් ලියගත්තා .බහින්න කලින් සීයා මට දුන්න ලස්ස්න පොස්ට් කාඩ් එකක්.මං මොනව දෙන්නද.වෙලාවට මතක් වෙලා මං ලඟ තිබ්බ අපෙ සොසයිටියෙන් ගහපු පෑන් 2කුයි,වෙනින් ෆැකල්ටියකින් ගහපු ඩේ කාඩ් එක්කුයි දුන්න..සීයට සතුටුයි.එයා කොච්චියෙන් බැහැලා ඈත නොපෙනී යනකන් අපි එකිනෙකාට අත වනා ගත්තා. ඒක හරිම ප්‍රීතිමත් හමුවීමක්.

කෝච්චියෙන් බැහලා කැම්පස් එකට යනකල් බස් එකේ නිදගත්තා.කැම්පස් එක පාළුවට ගිහින්. ෆොටෝකොපි කඩෙත් වහලා. සොයන්නාට සම්භවේ කිවුවා වගේ මං ඉතින් ආවෙත් හුදකලාව හොයාගෙනම නේ.

ළමයි නැති ටිකට මැයි ගස් මල් පුරෝගෙන. හරිත තණ ඇතිරිලි මල් පෙති වලින් වැහිලා...විසාල මැයි ගස් යට .. සුදු ටෙරාසෝ බංකු උඩත් මල්. හරියට චිත්‍රයක් වගෙයි...මාත් සිතුවමට එකතු වුණා. ..ඉර එළිය තැන තැන ආලෝක රටා අඳින උදෑසනක,...කුරුළු සංගීතෙ,හින් හුළඟ විඳගෙන..මල්පෙති විසිරුන සිතුවමක ඉඳන් රසවත් පොතක පිටු අතරෙ තනිවෙන එක කොච්චර සුන්දරද....

ඒක අති සුන්දර තනිකමක්..
ප්‍රීතිමත් හුදකලාවක්...
ජීවිතේ උපරිමයි කියන්නේ මෙන්න මේ වගේ නිමේශයන්ට වෙන්න ඇති .

වෙලාව ගියේ මටත් නොදැනිමයි.ගමන් මල්ල උඩත් මල්.සිතුවමෙන් මිදිලා මං ගියා ප්‍රින්ටවුට් කඩේට.කොලයකට 2.50යි.මට තිබ්බ කොළ 346ක් ගහන්න. වේටින් ලිස්ට් එකේ ඉඳලා බයින්ඩින්නුත් කරලා එළියට බහිද්දි 10ත් පහුවෙලා.

දැන් මොකද කරන්නේ.වැඩකුත් කරගත්තට ගෙදරයන්න කලින් වැඩියි.දැන් මොකද කරන්නේ.
හිතන්න...හිතන්න..හිතන්න...හිතුණා...!!!!!!!!.මං කොල්ලු
පිටිය බලා පියෑඹුවා..පෝලිමකුත් නෑ.ටිකට්ගත්තා.මං ලිබර්ටි සිනමා හල ඇතුලේ.දෙවනි පාරටත් "My name is Khan" බලන්නයි යන්නේ.පලවෙනිපාර බලපු කොපිය සවුත්තු නිසා කොහෙත්ම පාඩුවක් නැහැ.කරදරයක් නැතුව පොප්කෝන් ගිලිමින් මම චිත්‍රපටිය බැළුවා.ශන්කර් මහදේවන්ගෙ සංගීතෙත් උපරිමයි.
ජීවිතේ නියමයි ..!

එළියට එද්දි 2.30ට කිට්ටුයි.බඩ කෙඳිරි ගානවා.කොහාටද යන්නේ..? උතුරින් P&S??..No..!!!! නැගෙනහිරින් Dine more??...No..!! එහෙනම් Caravaan..?? No! Pilavus..? No.! Indo Ceylone..??..YES !!!!!!!!!!.කෑම ප්‍රනීතයි.ගානත් පහසුයි.කාලා කොල්ලුපිටියෙන් කොටුවට එනටිකට මාව ආපහු විජලනය වුණා.ඉරට හැතැප්මයි නොවැ.ඔන්න එතකොට තමයි මතක් වුනේ කමුබොමු අයියලයෙ දොඩ්ම් කඩේ. බීම පංකාදුයි.වෙලාවෙ හැටියට කියලා වැඩක් නෑ.(කමු බොමු කට්ටියටම පිං )පවස හෙම නිවාගෙන ඉස්ටේසමට ගියා.

කෝච්චියට වෙලා වැඩියි.මම යකඩ පුටුවක හාන්සි වෙලා වටපිට නරබන්න ගත්තා.ඒක තවත් චිත්‍රපටියක් බලනවා වගේයි.විවිධාකාර මිනිස්සු,එක එක සෝරතියෙ අඳුම් ආයිත්තම් ,ගමන් තාල ,කතා බස්...බලාගෙන ඉන්න දේවල් ගොඩයි.ටිකවෙලාවක් යද්දි ඇඩ් එකක් වැටුනා.මල්ලිලා දෙන්නෙක් කොච්චියක් ගැන ඇහුවා.ඒගොල්ලො යන්නෙත් මං යන එකෙමයි.ක්‍රිකට් තරඟෙකට කොළඹ ආපු පාසල් කණ්ඩායමක්.ක්‍රීඩකයොයි,ගුරුවරුයි,ඔවුන්ගේ දෙමාපිය සහෝද‍ර සහෝදරියනුයි ඔක්කොම 25ක් විතර.කතාවෙන් කතාවෙන් කොච්චියත් ආව.අපි ඔක්කොම එකම පෙට්ටියේ එකලඟ ආසනවල.

හරිම විනෝදකාමී පිරිසක්.මල්ලිලා සින්දුකියන්න පටන්ගත්තා.සර්ලා තත්තලාත් එකතු වුණා.අගේ ඇති සිංදු ටිකක් කියවුණා.මමත් ඉතින් පුළුවන් හැටියට සහයෝගය දුන්න.මාත් ඔවුන්ගෙම කෙනෙක් වෙලා.අතරින් පතර රටකජු,ඔරෙන්ජ්ක‍්රශ් එහෙම ලබුණා.ගුරුගෝල වෙනසක් නැතුව හැමෝම හිටියෙ හරි විනෝදෙන්.එවෙලේ තේරුමක් නැතත් ඒවගේ මොහොතවල් පස්සේ දවසක මතක් කරද්දි හරි අපුරුවට දැනේ වි.මතක ගබඩාවල ලොකු ඉඩකඩක් ලබා ගනීවි.

මම බහිද්දි හැමෝම් මට සුභ පැතුවා.මං සීයට අත වැනුවා වගේ කට්ටිය මට අත වැනුවා.තවත් සුන්දර හමුවීමක් සහ වෙන්වීමක්..

ගෙදර එද්දි අම්මලා ඇවිත්.මුණ කට හෝදගෙන තේ බොද්දි අම්ම ඇහුවා ගිය වැඩේ ගැන.මගේ මුණෙ ඇදුණෙ තෘප්තිමත් හිනාවක්.කියාගන්න බැරි හුඟක් දේවල් ඒකෙ හිබුනා.

ආතක් පාතක් නැතුව පටන් ගත්හට දවස සුන්දරයි.වින්දනය උපරිමයි.හුදකලාව ප්‍රීතිමත්.

මේ හැමදේම රඳා පවතින්නේ කෙනෙක් හිතන පහන ක්‍රියා කරන හැටියටයි. මම ඔහේ බුම්මගෙනන.එහෙම නැත්තන් හෙඩ්සෙට් එක ගහගෙන වෙන ලොකෙක වගේ හිටියනන් සුදු සීයගේ පිරිසිදු හිනාවවත් ,මල්ලිලගේ සිංදුවත් නැතුව තනිසඳේ යන්න එන්න තිබුණා.ගහක් යට වාඩි වුණොත් කාක්කෙක් තැග්ගක් දෙයි කියලා ලයිබ්‍රරිය අස්සට ගියානම් අර වගේ විචිත්‍ර අත්දැකිමක් කොහොම ලබන්නද... එහෙනම් දැනෙන හැඟීම් කොච්චර වෙනස් වෙන්න තිබුණද..... හිත කියන්නෙ ප්‍රබල ආම්පන්නයක්.හිතින් මතුවෙන සිතිවිලි අනුව කරන කටයුතු වලින් මොහොතක්..දවසක්..ජීවිතයක්.. කොයිතරම් දුරට වෙනස් කරගන්න පුළුවනිද..ඒවෙනස හොඳ පැත්තට කරගන්න පුළුවන් නම් ඒකයි වටින්නේ.

එදා ගමන් විඩාව උනත් තෘප්තිමත් ...

හැමවිටම නැතත් ජීවිතේ හරි සුන්දරයි...!




6 අදහස්:

RoshanHerath said...

පරිසරයේ නියම සුන්දරත්වය දකින්නනම් ඒ පරිසරය සමඟ එකතු වෙන්න ඕනි... ඈතින් ඉඳලා පරිසරයේ සුන්දරත්වය විඳිනවා කියන්නෙ තේරුමක් නැති දෙයක්..

punchisamanalee said...

හරිම සුන්දරව ගෙවිලා ගිය දවසක් නේද?
සමනලීත් හුදකලාවට ප්‍රිය කරන කෙනෙක්... සමනලීගේ පාඩුවේ සමනලීගේ ලෝකේ ඉන්න ආසා කෙනෙක්.... යාලුවෝ දාහක් මැද උනත් සමනලීට ඒ හුදකලාව ඕනා උනොත් කොහොමහරි ලබාගන්නවාමයි.....
හැබැයි හුදකලාවේ ගෙවන්න හදපු ඔයාගේ දවසට හුදකලා වෙන්න නොදී බොහෝ පිරිසක් සුන්දරත්වයක් එකතු කරලා නේද? :-)

තීර්ථ යාත්‍රිකයා said...

අති විශිෂ්ඨයි....
"මේ හැමදේම රඳා පවතින්නේ කෙනෙක් හිතන පහන ක්‍රියා කරන හැටියටයි."
හොඳ අදහසක්.....

මගේ හිතේ ඔක්කොම දේවල් මැවුනා ලිපිය කියවද්දි......
දිගටම ලියන්න....මගෙන් සුභ පැතුම්...

DJ Slash (ස්ලෑෂ්) said...

අද උදේ ඉඳන් කියවන බ්ලොග් වල වැඩිපුරම තිබුනේ පරන මතකයන් අලුත් කරන දේවල්. මමත් ඒදවස්වල ඔහේ යනවා. දැන් ඉතින් ඒවා බැහැ. කියවලා මවාගන්නවා.

Harshi said...

මටත් දවසක් ඔහොම වුනා..බලාපොරොත්තු නොවුන සතුටක් මතකයන් අතරට එක් වෙනකොට දැනෙන සතුට වචන වලින් කියන්න බැරි තරම් නේද...
ලස්සනට ලියල තියෙනවා..මගේ සුබ පැතුම්!!

chathu said...

හැමවිටම නැතත් ජීවිතේ හරි සුන්දරයි...

ගොඩක් අයට තේරෙන්නේ නෑත්තෙත් එකමයි....

Post a Comment

Related Posts with Thumbnails