නෑ-නොනෑ පැටලැවිලි විත්ති...

මේපාර අවුරුද්දට ගමේ ගිහින් ටික දිනක් වැඩිපුර ගත කරන්න ලැබුණා.එතකොට අවුරුද්ද නම් පහු වෙලා .හැබැයි ගමට තාමත් අවුරුදු.අපෙ අත්තම්මලගෙ ගෙදර තියෙන්නෙ මහ කන්දක.ඒක කැම්පස් කන්දට දෙවෙනි නැහැ. මග අමාරුකම් කොච්ච‍ර වුණත් නෑදෑකැල ගේ පැමිණීම නම් අඩුවක් නැහැ .

අත්තම්මගෙ තේ මේසෙ උදේ හතට විතර ඇරපු ගමන් රෑ කෑම වෙලාව වෙනකන් ම විවෘතයි .කැවිලි පිඟන් බලා ඉන්දිද්දිම හිස්වෙලා යනවා.ආයෙමත් පිරිලා මේසෙට එනවා.
ඉතින් කවුද මෙච්චරටම මේවා කන්න තරම් ඉන්නේ ....

නෑදෑයෝ ... !
නෑදෑයෝ ... !
ගමකට නෑදෑයෝ ...

රතුවත්තේ කරුණාදර බාප්පලගෙ ගෙදර ,උඩහ හංදියෙගෙදර ,කංකාණම් මහතැන්ගෙ ගෙදර ,සපුගොඩ තැපැල් ගෙදර ,අංපිටියෙ ලීලම්මලගෙ ගෙදර ,එගොඩහගොඩේ අබේවිර ගෙදර ,ජයතු මුදියන්සේගේ ගෙදර, පාත වෙල්මැද්දේ ගෙදර ,නාවිට ඉස්කෝලෙමහත්තෑලෑ ගෙදර ,මන්චනායක වෙදගෙදර ...වගේ එකී මෙකි නොකී ගෙ
වල් රාසියක ඇත්තෝ විඩෙන් විඩේ අත්තම්මලගෙ ගෙදරට ගොඩවෙනවා.එන්නෙත් බරටම අවුරුදු කද බැඳගෙනයි.අපේ පලාත්වල වගේ එකම කේක් ගෙඩිය ගෙන්ගෙට මාරු වීමක් නම් කොහෙත්ම වෙන්නේ නැහැ.

වැඩේ කියන්නේ මේ එන
හැමෝම අපේ නෑදෑයෝ වීමයි.කොහේ හරි වටයක් කැරකිලා ඇවිත් අන්තිමට නැන්දෙක් මාමෙක් පුන්චම්මෙක් බාප්පෙක් අයියෙක් අක්කෙක් වෙලා තමයි නතර වෙන්නේ.

නෑ කමේ අගමුල විස්තර කරන්නේත් අත්තම්මාමයි."මේ ඔයාලගෙ සීයගේ ලොකු නංගිගේ හිච්චි දූයි එයගෙ දුවයි.." "මේ අංපිටියෙ ගෙදර මද්දුමයා ..අපෙ තාත්තා මෙයැයිලගෙ බප්පා නේ.. " "අර ඉස්සෙල්ල ආපු පොඩි මාමගේ ලොකු අක්ක තමයි මේ.වෙදගෙද‍රටනේ දීග ගියේ...ඒනිසා දෙපාරකට නෑකං කියතැහකි.." අත්තම්මා කියාගෙන යනවා.මේවා පටලැවෙන්නේ නැතුව කොහොම මතක හියාගන්නද මන්දා. ගෙදර ගොහින් ෆැමිලි ට්‍රී එකක් වත් ඇඳගන්න ඕන කියලා හිතුන ඒවෙලේ නම්.

ලොකුම අවුල කියන්නේ මූණ බලලා වයසින් මේ නෑකම් තීරණය කරන්න බැරිකමයි.ඒ ඇත්තො එකිනෙකා අමතන්නේ නෑකමින් මිසක් වයස අනුව නම් නෙවෙයි."කිරිමාමගේ දෙවැනියා...ඔයාට වෙන්නේ අයියා " කිවුවම ආයිබෝවන් කිවුවෙ අපේ අප්පච්චිට චුට්ටකට බාල වෙන්න පුළුවන් අයියා කෙනෙක්.. අම්මටත් වඩා ලාබාල ලීලම්මා අත්තම්මට නංගී කියද්දී අත්තම්මා ඇයට අක්කේ කියනවා.සීයගේ වයසේ ඉන්න හැරමිට්ටෙන් වාරු ගන්න නාවිට ලොකු ඉස්කෝලෙ මහත්තයා අපෙ පුන්චම්මලාට තවමත් ඉස්කෝලෙ අයියාවෙලා.
මගේ වයසෙම දැරියකට කටෙ දිවේ නොගෑවී "නංගී" කිවුවේ වෙන කවුරුත් නෙවෙයි අපේ අම්මා මයි.(නාකි කොන්දොස්තර උන්නැහේ කෙනෙක් එහෙම ඔහොම කියුවොත් අම්මගෙ මූණ මට එවෙලේ මතක් වුණා )

ඇත්තටම ඒ සබඳතා හරිම අව්‍යාජයි.අවංකයි.අවුරුදු ගාණකට පස්සේ මුණගැහුණත්, මතක ඇති කලක මං ඔවුන්ගේ ගෙවල්වලට ගොඩවැදිලා නැතත් ඒහැමෝම වාගේ මං ගැන දැනන් හිටියා. මං ඉගනගන්නේ කොහේද, ඉගනගන්න විශයන් පවා දැන හිටියා.ඒත් ඒ ආ බොහොමයක් දෙනා මගේ නෑදෑයෝ කියලා වත් මම දන්නේ නැහැ .

අතිශය වැදගත් කියලා අපි හිතන් ඉන්න, එහෙමත් නැත්නම් සමාජ වටපිටාව විසින් අපට හිතවන බොහොමයක් දේ පස්සේ හඹායද්දී කොයිතරම් නම් දේවල් අපිට මග හැරෙනවද අපිම දන්නේ නැහැ.ඒ අතරෙ මනුෂ්‍ය සබඳතා මගහැරෙනවා වැඩිද මන්දා..භෞතික සම්පත් වලට අපි මුල්තැන දෙද්දී ගමේ නෑයෝ තාමත් ඒ අපූරු ඥාතී සබඳතා දැල් අත‍රේ ජීවත් වෙනවා.ඒ බැඳීම් හරි සුන්දරයි. අපිට ගම අමතක වුණාට ඔවුන් අපිව අමතක කරලා නැහැ.

නම් ගම් නොදන්න නෑ සනුහරයක ලෙන්ගතුකම හිතට ගෙනාවෙ උණුසුමක්.ලබන අලුත් අවුරුද්දට ඒ හැම ගෙදරකටම යන්න මං මාව පොරොන්දු කරගත්තේ ඒ ඥාතී බන්ධන වලට මං හුඟාක් බැඳුණු නිසායි.

ජීවිතයක වටිනම දේ මිනිස්සු..අනිත් හැමදේම ඉන් පස්සෙයි..
.

6 අදහස්:

k.g.a.c. said...

අපේ තාත්ත නැති වෙලාවෙ නෑයො සෙට් එකක් බැහැල වත්තෙ පොල්,,,,අඹ,,,,,නාරO,,,ගොඩක් හමුදාවෙන් වාගෙ උස්සන් ගිහින්.....අපෙ තාත්තගෙම තමා ඔක්කොම ඒත් පOසල් වත්ත වාගෙ ඔක්කෝම කුදලහගෙන ගිහින්....කොටින්ම පොලෙන් ගෙනාපු රු 60 සෝක් දුන්කලෙත් අරO ගිහින්....නැති මිනිස්සු නෙමෙ කොලඹ සෙට් එකක් ....අපෙ පියාගෙ මල මාරු වෙලා....

මම said...

නයා...
අනේ කොච්චර ශෝක්ද ඔයා එහෙම කියද්දී මටත් අසා හිතුනා.එත් මට ඔය තරම් හිතවත් නෑයොවත්,ඔච්චර ගොඩාක් නෑයොවත් නෑ.හිටියත් අපිව සූරන් කන්න බලන් ඉන්න මාර නෑයො තමා ඉන්නේ...
ඒ අතින් ඔයා ගොඩාක් වාසනාවන්තයි.

දිල් said...

මනුස්සකම තවමත් රැදිලා තියෙන්නේ ගමේ විතරයි. ආගන්තුක සත්කාර වගේම සිරිත් විරිත් උනත් එහෙමයි.මොනතරම් වාසනාවන්තද ......

Naya said...

@k.g.a.c..;හපොයි මාර වැඩේ නේ..ඔහොම උණාම ත‍රහ නොගියොත් නේ පුදුමේ.දුංකොළෙත් ඉස්සුවා කිවුවම !!!!

@මම & දිල් :ඔව් ඒගොල්ලන්ගේ වටිනාකම හුඟාක් දැනුණා

Siribiris said...

හෙහ් හේ. නියමයි. වයස නොසලකා, නියම නෑදෑකමින්ම ආමන්ත්‍රණය කිරීම කිරීම මං හිතන්නෙ උඩරටටම ආවේණික වූ දෙයක්. මගේ මිත්‍රයෙක් කීවා, එයා එයාට වඩා බාල එයාගෙ නැන්දත් එක්ක එකට ඉස්කොලෙ ගියා කියලා.

අනිත් එක තමයි, දිග නෑදෑකං දෙපැතෙන් අරං ඇවිත් මැදින් ඇමිනීමේ කලාව. මෙන්න මෙහෙම: මේයාගෙ ලොකු අප්පච්චිගෙ පුතාගෙ නෑනා බැදලා ඉන්නෙ--- අරයගෙ බාල නැන්දගෙ බෑණාගෙ මහප්පගෙ දුවවයි. අපේ අම්මා බොහොම අපූරුවට ඔය කලාව ප්‍රගුණ කරලා තිබුනා, අවාසනාවට ඊලග පරම්පරාවට ඒක පිහි‍ටුවෙ නෑ.

අර කිසිම වෙලාවක හිස් නොවෙන අවුරුදු කෑම මේසෙ, අපටත් තිබ්බා එහෙම එකක්, පෝසත් නෑදෑ ගෙදරක. අපිට ඉතිං රජ සැප එදාට, රවුමක් යනවා, කනවා, සෙල්ලං කරනවා, ආයිකනවා. අන්තිමට අර නයි ගිලපු කබර ගොයි වගේ ඔය පොල් ගහක් මුල දපා තියලා ඉන්නවා, කෑම දිරවන කං, ඊලග මුරේ පටං ගන්න.

මේ රටේ කොච්චර ලාබෙට, කොච්චර කෑම තියනවද? -- ඒත් අර පුංචි කාලෙ අවුරුදු කෑම වගේ වින්දනයක් නොලැබෙන්නෙ මොකද මන්දා? සමහර විට, කෑමක් නියම විදිහට රස විදින්න, පරිසරයත්, බඩගින්නත්, ආදරයත් නියම ප්‍රමාණ වලට එකතු කරන්න ඕනා ඇති.

හැම දේකටම මිලක් තියන මේ රටේ, නෑදෑකං ගැනනං පොතක් ලියන්න තරං දේවල දැකලා තියනවා. ඒවා කියලා මේ ආතල් එක කඩන්නෙ මොකටද? ගමට, ගමේ නෑයොන්ට, අවුරුද්දට සහ නයාගෙ ආච්චිගෙ අවුරුදු කෑම මේසෙට ජය වේවා!

මින්දද said...

මේ වගේ කාලෙකත් ඔය වගේ දේශීය අගයන් රැකගෙන ඉන්න අය ඉන්නවා කියලා දැනෙනකොට හිතට පුංචි සතුටක් එනවා. අපි කොළඹට වෙලා, තාප්ප ගහගෙන, ටීවී එකට ඉන්ටර්නෙට් එකට වෑල් වෙලා ගෙවන යාන්ත්‍රික ජීවිතයට වඩා ඒ ජීවිත කොච්චර සරළ ද සුන්දරද...

Post a Comment

Related Posts with Thumbnails