මතක වැල් ....

පරණ ලාච්චුවක් කියන්නේ මතක ගොඩක්. අවුරුද්දට ගෙවල් දොරවල් අස් කරද්දී ,අයින්කරල දාල තිබ්බ මේසෙක ලාච්චුවකින් මට නිධානයක් හම්බුණා.
ආදරණීය මතක පොදියක්.....
උසස්පෙළ සමයට අදාල,පරණ නොවිච්ච මතක තොගයක්....
අතේ සතේ දීලා අරගතිපු කැම්පස් වලින් ගහපු බූක්මාර්ක්ස්(දැන් නං සල්ලිත් එක්ක දුන්නත් ගන්නේ නැහැ නේ.), ඒවයෙ පිටිපස්සෙ අපිම ලියාගතිපු කවි, වෙසක් කාර්ඩ්ස්, උපන්දින සුභ පැතුම්,විද්‍යුත් තැපෑල ජනප්‍රිය නැති ඒ කාලේ පිටරට හිටි යාළුවෙක් එවපු ලියුම්..වගේ සෙන්ටිමෙන්ටල් දේවල් ගොඩයි.

ඒවත් එක්ක තිබුණ ඔරිගමි ක්‍රමයට නවපු පුංචි සුදු හංසයා මට මතක වැලක් පෙන්නුවා.ඕක ලැබුණ දවස අපේ පන්සලේ කථින පිංකම.සමහර පුංචි දේවල් එක්ක ඊට සම්බන්ධ /කොහෙත්ම සම්බන්ධ නැති දේවල් පවා මතකෙට එන හැටි පුදුමයි.

කොහොමහරි ඔන්න මං හිටියේ ෆිසික්ස් පන්තියේ බංකු තීරුවක බොහොම අපහසුවෙන්.පිටිපස්සේ ඉඳන් අතින් අත මාරුවෙලා හංසයා මන් ලඟට අවා.මොන හේතුවක් නිසාද මන්දා (මතක නෑ )මට ඒක ඉස්සරහට පාස් කරන්න ලබුණේ නැහැ.ආපහු මතක් වුණේ පස්සේ දවසක ගණන් හදන්න කියලා ටියුට් මිටිය දිග ඇරගත්තු වෙලාවකයි. ෆිසික්ස් ගණන් වලට වඩා වෙන ඕනම දෙයක් හොඳයි කියලා හිතුණු කාලයක් නේ ඒක..:)මමත් ඔරිගමියක් නවන්න හිතාගෙන හංසයාව දිගඇරියා.

ඒකෙ ඇතුලේ කවියක්..!

"I'm too shy to ask.. I'm too proud to lose
but sooner or later I go to choose
But once gain I'm thinking about
taking the easy way out..

But if I let you go..I will never know....! "

හංසයන්ගේ පාදවල ගැට ගහලා සංදේශත් යැවුණු එකේ...නවීන තාලෙට සුදු කොලයක සංදේශය ලියලා ..ඒකෙන් හන්සයෙක්ව නවලා යවන එක් හරිම සුන්ද‍ර නිර්මානත්මක වැඩක්..

පස්සේ සතියේ යාළුවන්ගෙන් විපරම් කරල බැළුවට කවියේ අයිතිකාරයාවත් , එවුවේ කාටද කියලාවත් හොයා ගන්න බැරි වුණා .ඔන්න ඔහොමයි හංසයාට අන්තිමට මගේ ලාච්චුවේ පදිංචි වෙන්න සිද්ද වුණේ.

ඊට අවුරුදු ගාණකට පස්සේ වුණත් ආපහු ඒ අකුරු වැල් කියවද්දි දැනුණෙ හරිම ආදරණීය හැඟීමක්. හරියට කවුරුහරි මට ලියපු එකක් කියෙවුවා වගෙයි.මේක නියමිත කෙනා අතට ගියානම්..ඇය මේක කියෙවුවානම්...
ඒතනින් එයාගේ ජීවිතෙ මොනයම් හරි වෙනසක් වෙන්න තිබ්බේ නැද්ද..

පුංචි සුළු සුළු දේවල් සමහර වෙලාවට මුළු ජීවිත කථාවක්ම වෙනස් කරනවා. ..!

සමහර විට ඇය ඔහුගේ ආදරේ ගැන කවදාවත් දැනගන්න නැතුව ඇති.. එතකොට ඔහු.. ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිකමෙන් දුක් වෙන්න ඇති... එහෙමත් නැත්නම් හංසයා නිසි කෙනා ලඟට පියෑඹුවෙ නැති හැටි දැකලා ඌ ආයෙමත් ඔරිගමියක් නවලා යැවුව වෙන්නත් බැරි නෑනේ.

අපි හැමෝම මතක වලට ලොබයි.සමහර වෙලාවට අපි යම් පුද්ගලයන්ටත් වඩා, ඒගොල්ලන් ගැන අපි ලඟ තියන මතක වලට ආදරෙයි.ඒනිසා වෙන්න ඇති කොච්චර සිත‍්රිදවීම් උණත් අපි ඒගොල්ලන්ට සමාව දෙන්නේ..අසුන්දර දේවල් කොයිතරම් සිද්ධ වුණත් සුන්දර අතීත මතකයන් මතක් කරගෙන හිත හදාගන්න හදන්නේ..

ජීවිතේ සමහර දේවල් මතක තියාගන්න අපිට බල කරනවා. ඒත් මොලේ හරියට පෙරහනක් වගෙයි.හැලිලා හලිලා ගිහින් අන්තිමට ඉතිරි වෙන්නේ සීමිත ප්‍රමාණයක්.

මේ මතක ගබඩාව ඕනම මනුස්සයෙක්ගේ ජීවිතේ වටිනම කොටසක්.වෙලාව්කට අපි ඒක අවුස්සන්න ,පතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න බයයි.ඒ අපි අකමැති දේවලුත් හියෙන්න පුළුවන් නිසා.මතක හිටින නොහිටින දේවල් කොයිවද කියලා 100%ක් තීයරණය කරන්න අපිට බැහැ.ඒත් තව කෙනෙකුගේ මතකයක් විදියට රැඳෙන්නේ කොයි විදියටද කියන එක තීරණය කරන්න බැරිකමක් නැහැනේ.

සුන්ද‍ර මතකයක් හැටියට තවෙකෙකුගේ හිතක, මතකයක සදාකලටම බැරිනම් බොහෝ කලක් හරි රැඳෙන්න පුළුවන් නම් අපි හරි වාසනාවන්තයි .
මොකද දන්නවද ...


මිනිස්සු මතක වලට හරි ආදරෙයි..

7 අදහස්:

රවා said...

මතකයන් තමයි අපිව ඔනැම දරුණු කුණාටුවකදි ජිවත් කරවන්නෙ.. මිනිස්සු වෙන් කරගත්තට මතකයන් කියලා දෙයක්.. මටනම් මතකයන් කියන්නෙ හැමදෙම හරිම ලස්සනයි..

Raven said...

මතකයන් අපිව ජීවත් කරනව වගේම අපි විසින් මතකයනුත් ජීවත් කරනවා. අපි මතක තියාගන්න කැමති විදිහට... සමහර මතක ඇහැ ගැටෙන මානයේ රඳවගන්නත් තවත් මතක අදුරු පෙට්ටගම් වල හිරගත කරන්නත් අපි උත්සුක වෙන්නෙ ඒ නිසයි.
මට මතක විදිහට අර පදපෙළනම් ඒ කාලෙ ජනප්‍රිය උන ගීතයක කොටසක්.

Ansh Lucky Sri Jay said...

මතකයන් තමයි අපිව වත් කරවන්නෙ.

panhida said...

ඔව් මිනිස්සු මතකයන් වල ජිවත් වෙන්න ආසයි...හුගක් ඒ තුල ජීවත් වෙන්න ආසයි...

Naya said...

ප්‍රතිචාර දක්වපු හැමටම ස්තුතියි..!

පිස්සා පලාමල්ල said...

උසස් පෙල කාලේ මතකයන් ගැන නම් කියල වැඩක් නැහ. හරිම සුන්දරයි.

nimanthi said...

හ්ම්ම්ම් උසස් පෙල මතකයන්..
ආය කවදාක වත් එන්නෙ නැති..
අපිට කවදාකවත් අමතකත් වෙන්නෙ නැති
ජීවිතේ ලස්සනම මතකයන් ගෙන ආපු
ඒ කාලෙ ඒ දවස් සුන්දරයි ඇත්තටම...!!!!!!!!

Post a Comment

Related Posts with Thumbnails