අක්කා සහ කඳුළු තේ...

අක්කා විවාහ වී අයියාගේ නිවසේ පදිංචියට ගියත් මට හැම විටම දැනෙන්නේ ඇය ඉන්නවා කියලමයි.ඇගේ ආදරය එතරම් ඝණකමට ගෙදර හැම අහුමුල්ලකටම රිංගලා..පැතිරිලා..අම්මානම් තවම වැඩි කථාබහක් නැහැ.ඇගේ දෑස් දීප්තිමත් වෙන්නේ දුරකථනය නාදවෙනකොට තමා..

මංගල්‍යයදා සියලු නෑදෑ හිතමිතුරන්ගෙන් සමුගන්න වෙලේ එකදු කඳුලක් නොහෙලූ අක්කා අම්මාව බදාගෙන නොසෙල්වී සිටි මොහොතේ, අක්කාගේ හැර පැමිණ උන් සියල්ලන්ගේම දෑස් තෙත් වෙන්න ඇති.නමුත් ඇගේ කඳුළු දැක්කේ මම විතරයි..ඒ මගුල් දාට කලින් දිනයේ නොසිතූ වෙලාවකයි.අක්කා සිහිවන හැම වෙලාවකදීම එදා ඇගේ මුහුනේ තිබූ හැඟීම් රේඛා සියල්ල සමග ඇගේ රුව මැවෙනවා..එතකොට දෑස් බොඳ වෙලා ඉවරයි මටත් නොදැනීම..

මංගල්‍යයට කලින්දවසේ ගෙදර හරිම ප්‍රීතිමත්..එදාදවල් අපි පන්සලට දානයක් දුන්නා.ඒ වැඩ නිමකල්ලා කෑම බීම,වළං පිඟන් ආදිය අස්කරලා හැමෝම පුටු උඩ, පුටුඇඳි උඩ, ජනෙල් පඩිඋඩ එහෙම වාඩිවෙලා විහිළුතහළු කරමින් හිටියා.පවුලේ නෑදෑ ළමා ලපටි හැමෝම එකතුවෙන්නේ බොහොම කලාතුරකින්නේ.ඒත් අක්කාට නම් නිවණක් තිබුණේ නැහැ.ඇය ඒ මොහොතෙත් දුරකථනයට කොටු වෙලා කාටදෝ උපදෙස් දුන්නා.වැඩේ ඉවරයක් කරලම අක්කා ඇඳි පුටුවේ හරිබරි ගැහුනේ ලොකුඅක්කගේ පොඩි එකාවත් ඔඩොක්කුවේ වාඩිකරන්.ඔන්න ඉතින් සතුටු සාමීචිය පැය භාගයක් විතර යද්දී අපේ අප්පච්ච්ට තේ තිබහක් ආවා.ආච්චිඅම්මාටත් කියවුණා කහට උගුරක් තිබ්බානම් හොඳයි කියලා.

අපේ ගෙදර තේ කෝස් එක හැමදාම කරන්නේ අක්කා තමයි.ලොකු අක්කාගේ තේ වලට ඡන්ද ඉතාම අඩු නිසා හැමෝම අක්ක දිහා බැලුවා."..මැණිකේ..ඉතින් අද විතරයිනේ.." කියලා දයා පුංචි ආදරෙන් කිව්වාට පස්සෙයි අක්කා මූණ නරක් කරන් උනත් නැගිට්ටේ.

පොඩි එකා පිස්සු දඟවැඩ කරලා අපි හමෝවම හිනස්සන අතරේ තේ වෙනදාටවඩා පරක්කු බව අම්මට මතක් උණා.ආච්චම්මා සනීපෙට ඔළුව අතගාන අතරේ නිදිකිරාවැටෙමින් උන් මම "අක්කේ....මොකද පරක්කූ.." කියා අහගෙන කුස්සියට ගියේ නිදිමතේමයි.කෑම කාමරේ තිර නොදැමූ ජනේලය හරහ පෙනුණ දසුන මාව හිටි අඩියේම නතරකලේ පපුවේ ගඹුරුම තැනක යමක් හිරකරමින්.

මගේ අක්කා..මගේ ආදරණීය අක්කා..කුස්සියේ තේ හදන තැන බිම ගුලිවී වාඩිවෙලා දෑතින් පපුවට යමක් තදින් හිරකරගෙන සිටියා..සැම විටම සිනාරැලි වලින් වසාගෙන සිටි ඇගේ දුක පුපුරාගොස් දෝරේ ගලායමින් තිබුණා....හැඬුම් නවතා ගන්න දැඩි අරගලයක නිරත උණත්, සුමුදු තලෙළු කම්මුල් පෙඟීයන්න තරමට ගැලූ කඳුළු නවතාගන්නට ඇයට හැකිඋණේ නැහැ...ඇයගේ මුහුණේ එතරම් වේදණාවක් සටහන් වී තිබෙණවා මම මීට පෙර දැකලා තිබ්බේ නැහැ...අක්කාගේ කඳුළු ඒතරම් බරට කවදාවත් වැටිලා නැහැ......

ආයාසයෙන් දෑස් හැර නැගීසිටි අක්කා එතෙක් පපුවට සිරකරගෙන සිටි - අප්පච්චී තේ බොන, අණ්ඩේ පලුද්දක් ඇති පැණිපාට කෝප්පයට සීරුවෙන් තේ වත්කළා.එක හුස්මක් වත් නොහෙලා පාෂාණිභූතවී බලාසිටි මගේ දෑස් වැගිරෙන්න ගත්තේ,මීට වසර කිහිපයකට පෙර මහපොළ සැණකෙළියකින් අක්කාම මට ගෙනත්දුන් මිකීමවුස් රූපඇඳි තේ ජෝගුව ඇය කඳුළු වැකි කම්මුලට තදකරගත් මොහොතේයි.එතැන තවත් රැඳී ඉන්න මට ශක්තියක් තිබ්බේ නහැ.නානකාමරයට දුවන් ගොස් දොරවසාගෙන,ජලකරාමයේ හඬට මුවාවෙලා මම හොදටම ඇඩුවා.....දොරේ වනා තිබූ අක්කාගේ කහපැහැ සුවඳැති සාලුව මිරිකාගෙන මම ඇඩුවා.....

"කෝ මේ තේ හදන්න ගිය අයත් නෑ..බලන්න ගිය අයත් නෑ..විජෙ රජ්ජුරවන්ට උණා වගේද.."ඒ අප්පච්චියි.එතකොටම අක්කා දොරට ගහන්න ගත්තා ඇයට නාන්න ඕනායයි කියමින්.ඇයත් මමත් අහක බලගෙනම එකිනෙකා පසුකරන් ගියා.විවිධාකරයට හදපු තේ සමග බන්දේසිය මේසය උඩ තනිවෙලා.අක්කා එය සාලයට අරන් ගොස් නැහැ.තේ බන්දේසිය අතට ගත්වහාම අර පපුවෙ සිරවීම නැවත දැනුණා.

අක්කාගේ තේ කලාව...

අප්පච්චිට සීනි නොදැමූ කහට තේ..අම්මාට,පුංචිට හා ආච්චම්මාට හකුරුකැට සමග තේ..නුවර බාප්පාට ගැස්ට්‍රික් නිසා සුදුකිරි...පොඩි එකාට ලාවට කහට දැමූ කිරි..ලොකු අක්කට සුපුරුදු පරිදි කෝපි...අයියාට,නැන්දලාට කිරිතේ...ඒ අතරේ මගේ නෙස්ටොමෝල්ට් ජෝගුව..මේ සියල්ල නිහඬව දුම් දමමින් තිබ්බේ අක්කා හඬනු දැක දුක වාවාගන්නට බැරුව වාගෙයි.. අක්කා ගියාට පස්සේ හැමෝගෙම රසගුණ ලෙඩදුක් මතක තියාගෙන මෙහම තේ හදන්නේ කව්ද...?????තමන් කැමති පදමට හොඳ උණු තේකක් බොන්න හමෝම කැමතියි.අක්කා ඒ සතුට හැමෝටම දුන්නා.අක්කා යන්නේ ඒ සතුටත් අරගෙනද...

හුස්ම තදින් ඉහලට අල්ලගෙන බන්දේසිය නෑදෑ පිරිස කිට්ටුවෙන් තියලා මං එතනින් පිට උණා.ආදරණීය අක්කාගේ ආදරණීය කඳුළු මුහුවෙච්ච නෙස්ටොමෝල්ට් උගුරෙන් පහලට ගියේ විශාල දැවීමක් එක්කයි.මගේ කඳුළුත් අක්කගේ කඳුළුවලට මුහු වෙන්න ඇති.ගිනියම් තේ ජෝගුව කම්මුලට තද කරගත්තත් මට රස්නයක් දනුනේ නැහැ.එතකොටයි දැක්කේ මං බලා හිඳියා වගේම අක්කා කෑම කාමරේ ජනේලෙන් මන් දිහා බලන් ඉන්නවා.මම තදින් ඇස්පියාගත්තා..ආපහු බලනකොට අක්කා ගිහින්...

ආදරණීය අක්කාට නොකී කතාව..

මගේ ආදරණීය අක්කා ලබන සතියේ විවාහ වෙනවා.මේ ලියන්නේ ඇය වෙනුවෙන්..

ඇය ආදරේ කරන්න පටන් ගත්තෙ මීට මාස කීපයකට කලින්.ඒ ඇය කිසිදා දැන හඳුනගෙන නොසිටි කෙනෙකුටයි.දීර්ඝ දුරකථන සංවාද ගනණාවකට පස්සෙ අක්කා ප්‍රේම වන්තියක් වෙලා හිටියා.අක්කා අයියාව හඳුනා ගනිමින් සිටි ඒ මුල් දිනවල මේ සංවාද රෑ දෙගොඩහරියත් පහුවෙනතුරු නැවතුනේ නැහැ.ඔහු උගත් හොඳ කෙනෙක් නිසා වැඩිහිටියන්ගේ ආශීර්වදය ඉක්මනින්ම ලැබුණා.

පවුලේ බොහෝ දේ සිදු උනේ ඇය අතින්.අනිත් සහෝදරයින්ගේ දුක සැප හොයා බැලිලි,නෑදෑ පොඩිඋන්ගේ උපන්දින, අහල පහල දාන-මාන, මගුල් තුලා, අවමගුල් උත්සව, පාසල් ආදිශිෂ්‍ය සංගම් වැඩ ආදී එකී මෙකී නොකී හැම දෙයක්ම පවුල වෙනුවෙන් නියෝජනය කලේ ඇයයි.ඉතින් ඇයගේ නික්මයාමෙන් පසුව නිවසේ විශාල අවකාශයක් ඇතිවනු නියතයි.එය පුරවන්න වෙන කිසිවෙකුත් සමත් වෙන එකක් නැහැ.

මේ ඇයගේ කුළුඳුල් ප්‍රේමය.අයියා ඇයට අලුත්ම ජංගම දුරකතනයක් තෑගි දීලා.මම ඒකට ලස්සන ringtone 1ක් දාලාදුන්නා(Richerd Marks ගේ Right here waiting for you).ඇය පුන්චි කෙල්ලක් වෙලා අයියාට හුරතල් කතා කියමින් නිවස පුරා ඇවිදින්නේ කිරිල්ලියක් වගේ.දැං ඉතින් මූණ සෝදන්න ගියත්,උයන්න ගියත්.නාන්න ගියත්,නිදාගන්න ගියත් ජංගමයා ඇය සමග.එය හැඬවෙන්නෙ කොයි මොහොතෙද ඇය සුළඟක් වගේ එතන.

අක්කා මට වඩා අවුරුදු 6කට වැඩිමල්.මම පටලැවිල්ලක් පටලවා ගත්තෙ අක්කාට කලින් නිසා මට ඇයව පේන්නේ පුංචි බෝනික්කෙක් වාගෙයි.ඇයට කියාදෙන්ට නොව කියන්නට දේ බොහොමයි.ඒත් ගෙදර පරිසරය මේදිනවල බොහොම කලබල නිසාත් මගේ
ප්‍රේම පුරාණය අවසානයක් වෙනකනුත්ගෙදර කවුරුත් දැනගත්තේ නැති නිසාත් මේවගේ වෙලාවක ඔය පලහිලව් දිගහරින එක නුවණට හුරු නැහැ.

.එනමුත් මට ඇය එක්ක නිදහසේ කතාකරන්න තිබානම් හොඳයි.නමුත් මේදිනවල ඇයව අල්ලගන්න එක හුගක් අමාරු වැඩක්.රූපලාවන්‍යාගාරය,ඇඳුම් මසන තැන,මල්සකසන තැන ආදී ස්ථාන ඇය එනකන් බලා ඉන්න නිසා ඇයට කන්න බොන්න වත් වෙලාවක් නැහැ.කොතරම් මහන්සි වෙලා ආවත් ඇය නින්දට යන්නේ ජංගමයා එක්ක හිනාවෙමින්..
ඇය පාවෙමින් දෝරේගලන ආදරයකින් තනියම හිනා වෙනවා... ඒත් මේ සියල්ල වෙනස්වන සුළුයි.ඇයට එය වටහාගන්න තව කල් යනු ඇති.එය තවකෙනෙක්ට ව්ටහාදෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි.තමන්ම වටහාගතයුතු දෙයක් .කාලය සමග හුගක් දේවල් වල වර්ණය ,තාලය වෙනස් වෙනවා.

"..ආදරණීය අක්කේ..,අක්කාගැන මට හුගාක් සතුටුයි.අක්කා සතුටින් නිසා කියන්න බැරි තරම් සතුටුයි.ඒත් අක්කේ..සුන්දර ආදරය පිටුපස නොපෙනෙන දෑ බොහෝයි.විවාහයට එලඹෙන්න තව ටිකක් කල් ගත්තානම් හොඳයි.පවුලෙන්ම මෙහෙම කියන්නේ මං විතරයි.ඒත් හඩක් නගන්නට මට බලතල නැහැ.දැන් ඒකට කල්වෙලාත් නැහැ.අක්කා බුද්ධිමත් ළමයෙක් නිසා මම හිත කරදර කරගතයුතු නැහැ.ඒත් අක්කේ මන් පසක් කරගත් එකම එක දෙයක් අක්කාට කිවයුතුයි.

ආදරය කරනවාට වඩා එය පවත්වාගැනීම අමාරුයි.."

හැමදේම හොඳින් සිදුවෙන මේ දිනවල ගෙදර හරීම ප්‍රීතිමත්.අලුත් නෑදෑයනුත් යන එන නිසා වැඩ ගොඩයි. අක්කා යන එක ගැන මතක් වෙනනකොට දුක උනත් අක්කාගේ ජීවිතය සම්පූර්ණ වෙන නිසා මට හරි සතුටුයි..!!!

සිත් අහසේ උස..

සිතක සිතිවිලි වලට ඉමක් නැහැ,නිමක් නැහැ.එක් සිතිවිල්ලක් ක්ෂණයෙන් ඇතිවී නැතිවී යනකොට සමහරක් සදාකාලයේම මතකය අත්නොහැර ඉන්නවා.තවත් සමහරක් අපි නොසිතන මොහොතක මතකයට විත් නැවත අමතක වී යනවා..

පැනනගින දහසක් සිතිවිලි අතර කියාගන්නත බැරි වුණු,අමතක කරන්නත අකමඇති,බෙදා ගන්නට තරම් රසවත් යැයි සිතෙන සිතිවිලි බොහොමයි.

ඉතින් අද සිට විවිධ වර්ණයේ විවිධ හැඩතල වල,සුන්දර, කටුක,සැහැල්ලු මෙන්ම බරසාර සිතිවිලි මේ අහසේ පාවේවි.

එන්න..මේ අහස කියවන්න.....
Related Posts with Thumbnails