අග මුල නැති සිතිවිලි...සිතිවිලි...

ජීවිතේ එක පරිච්ඡේදයක් ඉවරවෙන්න යද්දී ,අලුත් එකක් පටන් ගන්න යද්දී දැනෙන නොසංසුන්කම..හිස්බව.. .පැටලැවිල්ල ඇතුලේ මම හිරවෙලා.එලෙවල් ඉවරවෙලා කැම්පස් තේරෙනකල් ආතක් පාතක් නැතුව බලන් උන්නු කාලෙත් ටිකක් මෙන්න මේ වගේයි. ඒත් වර්තමාන තත්වය ඊට වඩා වෙනස්.හිතේ බර වැඩියි.මවපු හීන , දෙමවුපියන්ගෙ බලපොරොත්තු ඒ බරට එකතු වෙලා.

විශ්ව විද්‍යාලෙ කියන්නේ හරි අපූරු තැනක්.අත්දැකීම් ගොන්නක්.ඒ ජීවිතෙන් මිදෙන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඒත් තව නොබෝ කලකින්ම ඒ යථාර්තය මතුවෙනවා. ඊට පස්සේ ජිවිතේ කොයිවගේ වෙයිද ...ඒක නොපැහැදිලියි.

මිනිස්සු වෙනස් වෙනවා වගේම හීනත් වෙනස් වෙනවා.වෙනස් වෙන පුද්ගලයෙක් එක්ක හීනයක් වෙනස් නොවී පවතින්න පුළුවනිද? බැරිද? හීනයක් යථාර්තයට කොච්චර සමීප වෙන්න ඕනද? මේ හැම දේම පුද්ගලිකයි.අපි හිතුවට අපි අනිත් අයට වඩා වෙනස් කියලා ,අන්තිමට අපිත් අනිත් හැමෝම වගෙයි.

මේ හිස් බව හිතේම ස්වභාවයක්.සිතිවිලි වලින් ,දහසක් වැඩ වලින් වැහිල තියෙද්දි කොයින්ද හිස් බවට ඉඩක්.. එසයිමන්ට් ,ප්‍රොජෙට්ස්, විභාග ,නිදිමැරිලි එක්ක කාලයක් පොරබැදලා එකපාරටම දීර්ඝ නිවාඩුවක් ලැබුනහම ඒකට අනුගත වෙන්නත් ටිකක් අමාරුයි වගේයි.ඒත් කොයි තත්වෙට උණත් අන්තිමට අපි පුරුදු වෙනවා.

ලිවිම සහනයක්.ජීවිතේ ගැන ,චිත්ත සංතානය ගැන මේට කලින් නොහිතපු නොදැකපු පැති එතකොට පේන්න ගන්නවා. හරියට හිත ඇතුලේ තිබ්බ ඇහැක් විවෘත වෙලා වගෙයි.ඒ ඇහැට හුඟාක් දේවල් පේන්න ගන්නවා..තේරෙනවා...

අන්න ඒ ඇහැට වගේ මුළු ඇතුලාන්තය තේරුම්ගන්න,දකින්න පුළුවන් කෙනෙක්ව හැබෑ ජීවිතේදි යමෙකුට මුණගැහෙනවානම් ,ඒක වාසනාවෙ උපරිම අවස්ථාවක්.එහෙම වෙන්නේ හරිම කලාතුරකින් .

ඒත් ආදරේ සුලභයි....!

4 අදහස්:

සමනලී said...

ජීවිතේ එකම රටාවට ගලාගෙන ගිහින් ඒක වෙනස් වෙන තැනට ආවාම දැනෙන අසමතුලිත හැඟීමට අපිට මූණ දෙන්න වෙනවා....ඒත් ඒ හැම තැනකදීම දෙමාපියන් අපි ගැන ඒ අහිංසක හිත් වල පුරෝගත්ත හීන වලට වැඩි ඉඩක් දෙන්නම වෙනවා.
විශ්ව විද්‍යාල ජීවිතේ අපිට උගන්නනවා පිටින් පේන මිනිස්සු ඇතුලතින් එහෙම නොවන බව. ඕක හරියටම තේරුම් යන්න විශ්වවිද්‍යාලෙන් අයින් වෙලා ටික කලක් යන්න ඕනා. සමාජේ දිහා විශ්වවිද්‍යාලේ ඇතුලේ ඉදන් අපි බලන විප්ලවකාරී දැක්ම එක්කයි අපි හිතන්නේ අපි වෙනස් කියලා ඒත්.... එතැනින් එළියට ඇවිත් ජීවිත යුද්ධේ සටන් කරන්න ගත්තාම අපිට පේනවා අපිත් ඒ අය වගේම තමයි කියලා.. ඒ විදිහ වෙනස් කරන්න ආසා උනත් අපිට සිද්ධ වෙනවා ඒ රාමුව ඇතුලේ දුවන්න, අපිට අපි ගැන බලාපොරොත්තු තියාගත්ත පවුලක් ඉන්න නිසා.....
ඇත්ත ලිවීම තමයි හිතට ලැබෙන හොදම සැනසීම... කාටවත් තේරුම් කරලා කියාගන්න බැරි දේ වචන වලට පෙරලලා ලියන්න කාගෙන්වත් අපට තහනමක් නෑනේ..... ඉස්සර ඉදන් ඒ වාගේ කුරුටු ගාපු සටහන් දිහා බලාගෙන ආවොත් අපිට පේනවා අපි වෙනස් වූ හැටි....

ඇතුලාන්තය දකින ඇසක් මනුස්ස හිතක්... ආදරය ‍වගේම ඒවගේ අයත් සුලභයි!!!! ඒත් ඒ බොහොමයක් දෙනා අපේ ඇතුලාන්තයට එබී බලන්නේ ඉන් තමුන්ට යම් වාසියක් ගන්න විතරයි... වාසිය ලබාගත්තොත් ඒ අය නොදන්න ගානට ඉදීවි... වාසිය නොලැබුනොත්? අපි පරිස්සම් උනොත්? අපේ ඇතුලාන්තය දැකපු ඒ මනුස්ස හිත අමනුස්ස වෙන හැටිත් අපි දකීවි...
ඉතින් මනුස්ස හිතක් දකින්න තේරුම් ගන්න පුලුවන් හැබෑම නොවෙනස් අවංක මනුස්ස හිතක් ලැබේවි නම් ඒ තමයි වාසනාවේ උපරිම අවස්ථාව... හරිම දුලබයි....

ජීවිතේ සියලු අභියෝග ජයගන්න මේ ඉන්න සංධිස්ථානෙන් හොදම මාවත තෝරගන්න... දුලබ උනත් ඒ වාගේ කෙනෙක් ඔබේ ජීවිතයට ලැබෙන්න සමනලී සුභපතන්නම්....
ජය!!!!!!!

රවා said...

වෙනස් නොවනා එකම දෙ පමණි..
වෙනස් නොවන්නා පද්ධතියෙන් ප්‍රතික්ෂේප වි යයි..
වෙනස් වෙන්න පුරුදු උනොත් නියමයි.. නැත්තම් ඉතින් අපිටමයි...

Raven said...

අපි ආසයි අපි වෙනස් කියල හිතන්න සහ අනිත් අය කියනව අහන්න.
හිතල බැලුවොත් අපි හැමෝම යම් යම් සීමාමායිම් ඇතුලෙ පොඩි පොඩි වෙනස්කම් ඇතුව ඉන්න එකම වගේ පිරිසක්.

Naya said...

ස්තුතියි අදහස් වලට.
@සමනලී
මගේ බ්ලොග් ඉතිහාසයේ (ලොකූ ඉතිහාසයක් නැතත් )දිගම ප‍්රතිචාරය ලබුණේ ඔයාගෙන්.දිග පළලින් නෙවේ කියපු අදහසුයි වටින්නේ.හැමදෙනාගෙම වචන ලොකු ශක්තියක්.

Post a Comment

Related Posts with Thumbnails